NEWS

රට පුරා ගෑස් පෝලිම්වලට හේතුව සිලින්ඩර් මදි කමලු

රට පුරා ගෑස් පෝලිම් නිර්මාණය වී ඇත්තේ ගෑස් සමාගම් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම සීමා කිරීම නිසා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (29 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇත. ලිට්රෝ ගෑස් සමාගම දෛනිකව ගෑස් පිරවූ සිලින්ඩර අසූදහසකට වැඩි සංඛ්‍යාවක් මීට පෙර වෙළෙඳපොළට නිකුත් කළත්, මේ වනවිට සිලින්ඩර තිස්දහසකට සීමා කර ඇත. ලාෆ් ගෑස් සමාගම මීට පෙර දෛනිකව ගෑස් සිලින්ඩර හතළිස්දහසක් වෙළෙඳපොළට නිකුත් කර ඇත. එහෙත් මේවනවිට වෙළෙඳපොළට නිකුත් කරන්නේ සිලින්ඩර පහළොස්දහසකි.

පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා හිස් ගෑස් සිලින්ඩරවලින් 30%ක පමණ විවිධ දෝෂ හඳුනා ගන්නා බැවින් එම සිලින්ඩර දැඩි පරීක්ෂාවට ලක්කරන බවද සමාගම් පෙන්වා දී ඇත. එම සිලින්ඩරවල ‘වෑල්’ අලුත් කිරීමද සිදුකරනු ලබයි. දෝෂ සහිත සිලින්ඩර නිවැරදි තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ජනවාරි මාසයේදී ආනයනය කරන බවද ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර තිබේ.

ගෑස් සඳහා ප්‍රමිතිය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. වෙළෙඳපොළට පසුගිය කාලයේ නිකුත් කළ ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර ලක්ෂ දෙකහමාරක් පමණ ද භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව ද වාර්තා වෙයි.