NEWS

බිලියන 03 ක් වියදම් වෙන වැඩේට බිලියන 15 ක්ම චීන සමාගමට දෙන්න හදයි

දේශීය ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් රුපියල් බිලියන 3ක වියදමකින් ප්‍රතිසංස්කරණය කළ හැකි බ්ලුමැන්ඩල් සිට කොලොන්නාව දක්වා වන ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතිය රුපියල් බිලියන 15කට වැඩි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති චීන සමාගමකට ලබාදීමට මුදල් අමත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සුදානම් වන බව අනාවරණය වේ. පසුගිය සතියේ සිය ධුරෙන් ඉවත්වූ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස්ද මෙම ව්‍යාපෘතිය අදාළ චීන සමාගමට ලබාදීමට දැඩිව විරෝධය පළ කළ බවද පැවසේ.

වසර 100ක පමණ පැරණි මෙම නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දේශීය ඉංජිනේරුවන් යටතේ ක්‍රියාත්මක කෙරෙන රුපියල් බිලියන 3ක පමණ ඇස්තමේන්තුවක් සහිත ව්‍යාපෘතියකට මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අතරතුර මීට පෙර 2019 වසරේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන ලද චයිනා බියුරෝ පෙට්‍රෝලියම් නම් සමාගමක් ‘චයිනා ඉංජිනියරින්’ නම් සමාගමක් හරහා රුපියල් බිලියන 7.8ක ඇස්තමේන්තුවක් මේ වෙනුවෙන් ඉදිරිපත් කර ඇත. එම වියදම චීන සමාගම විසින් ලබාගැනීමට සැලසුම් කර ඇත්තේ චීනයේ ‘එක්සිම් බැංකුවෙන් වන අතර අවසානයේ පොලියද සමග ඒ වෙනුවෙන් සමාගම වැයකිරීමට ඇස්තමේන්තු ගත කර ඇති සමස්ත පිරිවැය රුපියල් බිලියන 15කට (ඩොලර් මිලියන 37) අධිකවේ.

මේ පිළිබඳව විෂයභාර ඇමැති උදය ගම්මන්පිලගෙන් ‘අරුණ’ කරන ලද විමසීමකදී ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන බවයි. අදාළ නළ එළීමේ ව්‍යාපෘතිය ලබාදීමට නියමිතව ඇත්තේ 2019 වසරේ කැබිනට් අනුමැතිය ලබාදුන් චීන සමාගමට මිස නව සමාගමකට නොවන බවත්, මෙමගින් රජයට කිසිදු පාඩුවක් සිදුනොවන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එසේම වසර 04ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයවන වියදම ප්‍රතිපූර්ණ කරගැනීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම – අරුණ