සුනාමියෙන් මියගිය අය සිහිකොට අගමැතිගේ ප්‍රධානත්වයෙන් සැමරුමක්

සුනාමි ව්‍යසනයෙන් දහ හත් වසරක් ගත වූ අද දිනයේදී සුනාමියෙන් මියගිය පිරිස සමරා විවිධ සැමරුම් පවත්වනු දක්නට ලැබුනා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එම ආර්‍යාවගේ සහභාගීත්වයෙන් එවැනිම සැමරුමක් අරලියගහ මන්දිරයේදී අද උදෑසන සිදු කෙරුනා.

මේ ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ පලවූ සටහනක්.

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිපත් කිරීම

දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස සිහිපත් කිරීමේ වැඩසටහනක් අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි‍.

පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා යෙදුණු මිනිත්තු දෙකක නිහඬතාවට එක්ව අනතුරුව පහන් දල්වා මිය ගිය පිරිස සිහිපත් කළෙමි.

දිස්ත්‍රික්ක 14කට බලපෑ සුනාමි ව්‍යසනයෙන් 31,229 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් 4100ක් දෙනෙක් අතුරුදන් වූහ. 516,150 දෙනෙකු මෙම ව්‍යසනයෙන් අවතැන් වූ අතර 250,000කගේ පමණ නිවාස හා දේපල විනාශ විය.

සුනාමි ව්‍යසනය ඇතුළු විවිධ ආපදාවලින් මිය ගිය පුද්ගලයන් සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිත දිනය” ද අදට යෙදී තිබේ.

මෙම අවස්ථාවට මගේ බිරිඳ සහ යුද හමුදා, පොලිස් ඇතුළු ආරක්ෂක අංශ සමාජිකයෝ ද එක්ව සිටියහ.