පණ අදින මිතුරා දෙස බල බලා බි’යර් බිව්ව ” මන්නා රමේශ් “

‘මන්නා රමේෂ් ’ කීවිට ඔහු ගැන කැලණිගං මිටියාවතේ නොදන්නා අයෙක් නැති තරම්ය. ඔහුගේ මන්නා පහරට අසුවී මේ වන විට බරපතළ තුවාල ලබා ඇති ගණන 34කි. රමේෂ්ගේ මන්න පහරට බිය නිසා කිසිවකුත් ඒ පිළිබඳව පැමිණිලි නොකළේය. ඒ මන්නා රමේෂ් අවිස්සාවේල්ල පාතාලයේ “ ගෝඩ් ෆාදර් ” නිසාය. තමාට විරුද්ධව කිසිවකු වචන මාත්‍රයක් හෝ පිටකර තිබුණහොත් ප්‍රදේශය පුරා විසිරී සිටින තම සහචරයන්ගේ සන්නිවේදන ජාලයෙන් ක්ෂණයකින් ඒ බව දැනගන්නා රමේෂ් අදාළ පුද්ගලයා සොයාගොස් තම මන්නයේ මුවහත උරගා බලන්නට පසුබට නොවේ. එවන් සිදුවීම් නිසා අතපය අහිමිව සදාකාලික අබ්බාගාතයන් වූ බොහෝ දෙනෙක් තවමත් මුනිවත රකිමින් එම දුක් විඳ දරාගෙන සිටින්නේ ජීවිත ආශාව නිසාය.

කව්ද මේ මන්නා රමේෂ්

1992 පෙබරවාරි මස 22 වන දින අවිස්සාවේල්ල නාපාවල උපන් රමේෂ් අධ්‍යයන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා තල්දූව බෞද්ධ පාසලෙනුත් අනතුරුව අවිස්සාවේල්ල ශාන්ත මේරිස් පාසලෙන් උසස් පෙළ හැදෑරීය. රමේෂ්ට සමාජයෙන් විවිධ අඩන්තේට්ටම් අසාධාරණකම් සිදුවීම ආරම්භ වූයේ ඔහු උසස් පෙළ පන්තියේ සිටින කාලයේදීය. උපකාරක පන්තිවලට යාමේදී නිවසින් දෙන රුපියල් සියය දෙසීය නගරයේ සිටින නොහික්මුනු රස්තියාදුකාර තරුණයන් රමේෂ්ට පහරදී උදුරාගත් අවස්ථා එමටය. දිගින් දිගටම වූ මේ සිදුවීම් නිසා බලවත් සිත් තැවුලට පත් රමේෂ් තමන්ට පහර දී මුදල් පැහැරගත් නගරයේ “ අයියලා ” ගෙන් පළිගැනීම ආරම්භ කළේ ඔහු හැඩි දැඩි තරුණයකු වූ පසුවය. තමන්ට අසාධාරණකම් කළ නගරයේ අයියලා කීප දෙනකුට රමේෂ් අමතක නොවන පාඩම් කියා දුන්නේය. මන්නා පිහිය එකම පිහිට කරගත් රමේෂ් ඉතා කෙටි කලකින් අවිස්සාවේල්ල නගරයේ ප්‍රසිද්ධ චණ්ඩියෙකු බවට පත් විය.

මේ අතර රමේෂ්ගේ මිතුරකු යෝජනා කරන්නේ පතල් හෑරීමේ රැකියාවට සම්බන්ධවීමටයි. ඒ අනුව කැලණි ගඟබඩ “ 40 වළ ” නමින් හඳුන්වන ප්‍රසිද්ධ මැණික් පතලට ඔහු සම්බන්ධ විය. එය 40 වළ යනුවෙන් හඳුන්වන්නේ එහි හවුල්කරුවන් 40 දෙනකු සිටින නිසාය. ටික කලකින් සෙසු හවුල්කරුවන්ට පහර දී ඔවුන් එළවා දමා මුළු පතලම තම අණසක යටතට පත්කරගන්නා රමේෂ් ගෝලයන් යොදවා තම තනි අයිතිය යටතේ පතල පවත්වා ගෙන ගියේය. එහි භාරකාරත්වය පැවරුවේ කීකරුම ගෝලයා වූ කනිෂ්කටයි. නමුත් එළවා දමන ලද සෙසු හවුල්කරුවෝ රමේෂ්ට විරුද්ධව නැගී සිටියෝය. එහි පෙරමුණ ගත්තේ ඉසුරුය. එහෙත් ඉසුරුට වැඩිකල් ජීවත්වන්නට ඉඩ නොලැබිණි. රමේෂ් අතින් මැරුම් කන්නට ඔහුට සිදුවිය. ඉසුරුගේ මිනිමැරුම වන්නේ ඉතා සූක්ෂම ආකාරයටය. ඉසුරු ඝාතනය කිරීම භාරදෙන්නේ හොඳම ගෝලයා වූ කනිෂ්කට බව රමේෂ් තම බල ප්‍රදේශයේ ප්‍රචාරය කරයි. ඒ සියලු දෙනා නොමග යැවීමටයි. ක්‍රියාත්මක වන්නේ වෙනම සැලසුමකි. ඉසුරු ඝාතනය කිරීමට පෙර දිනයේ රමේෂ් කනිෂ්කව රෝහල්ගත කළේය. රෝහල්ගත කරන්නේ රමේෂ් යන නමිනි. එවිට රෝහලේ පොත්පත්වල ලියැවෙන්නේ රමේෂ් එම දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බවය. කනිෂ්ක රෝහලට යැවීමෙන් අනතුරුව ඔහු ඉසුරුට දුරකතන ඇමතුමක් දී “..මම හෙට තෝව මරනවා..” යනුවෙන් තර්ජනය කළේය. තර්ජනය කළ ආකාරයෙන්ම පසුදා ඉසුරුගේ බෙල්ල කපා ඝාතනය කරන රමේෂ් ඒ මොහොතේම ගොස් රෝහල් ගතවන්නේ රෝහලේ සිටින කනිෂ්ක ගෙදර යවමිනි. ඉසුරු ඝාතනය කළේ රමේෂ් බව ඇසින් දුටු සාක්ෂි තිබුණ ද ඒවා පිළිගත නොහැකි බව පොලිසිය පවසන්නේ ඉසුරු ඝාතනය වීමට පෙර දිනයේ සිට රමේෂ් රෝහල්ගතව සිටී බව රෝහල් ඇඳ ඉහපත් වාර්තාවල සඳහන් වන නිසාය. හැරත් රමේෂ්ට විරුද්ධව කිසිවකුත් සාක්ෂි දීමට ඉදිරිපත් නොවීය.. මෙවැනි සිදුවීම් 34 ක් පමණ ඇතත් අද වනතුරුත් ඒවා ඒ තැන්වලම සැඟවී තිබෙන්නේ සාක්ෂි දීමට ඇති බිය නිසාය.

මේ වනවිට රමේෂ් හෙරොයින් , ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය අලෙවිය ද යහමින් කරගෙන ගියේය. ඒවා ඔහු ගෙන්වා ගන්නේ ගාල්ල හා මාතර ප්‍රදේශවලිනි. කීප වතාවක් බන්ධනාගාරගත වී සිටි රමේෂ් එහිදී ඇතිකරගත් සම්බන්ධතා මත මත්ද්‍රව්‍ය පහසුවෙන් ගැනීමේ ක්‍රම සකසා ගෙන තිබුණි. දකුණේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා අවිස්සාවේල්ලෙන් රමේෂ් පිටත්වනවිට ඒ බව පොලිස් ඔත්තුකරුවන් මාර්ගයෙන් පොලීසිය දැන ගනී. ඒ අනුව පොලීසිය රැකවල්ලා සිටී. රමේෂ් අවිස්සාවේලෙන් පිටත්වන වාහනය අතරමග සඟවා වෙනත් වාහනයකින් ගමන් කරයි. එසේ දකුණු පළාතට යනවිට ඔහු වාහන කීපයකින් ගමන් කරන නිසාත් මත්ද්‍රව්‍ය රැගෙන ආපසූ පැමිණීමේදීත් එලෙස වාහන කීපයක් භාවිත කිරීම නිසා පොලීසියට නිවැරදි තොරතුරු ගැනීම අසීරු විය.

මේ අතරේ ඉසුරුගේ ඝාතනයත් සමග කෝපාවිෂ්ටව සිටි ඉසුරු කල්ලිය රමේෂ්ගෙන් පළිගැනීමේ අවස්ථාවක් සැලසුම් කරමින් සිටියෝය. දිනක් රමේෂ්ගේ හොඳම ගෝලයා වූ කනිෂ්ක නඩුවකට පෙනී සිටීම සඳහා අවිස්සාවේල්ල උසාවියකට ගොස් එන අතරමගදී මගරැක සිටි ඉසුරු කල්ලිය කනිෂ්ක පැහැරගෙන ගොස් “චණ්ඩී ” නමැත්තා විසින් බෙල්ල කපා මරා දමනු ලැබීය.

රමේෂ්ගේ පියා එම ප්‍රදේශයේම කාන්තාවක් සමග පැවැත්වූ අනියම් සම්බන්ධතාවක් නිසා ඇගේ පුතා රමේෂ්ගේ පියා සමග දැඩි වෛරයකින් පසුවිය. ඔහු ජෝර්ජ් මාලන්ය. නමගිය වොලිබෝල් ක්‍රීඩකයකු වූ මාලන් මත්ද්‍රව්‍ය ලෝලියකු මෙන්ම හෙරොයින් හා අයිස් ජාවාරම්කරුවකු ද විය. එසේම මාලන් ද පාතාල සම්බන්ධකම් ඇති පාතාල කෙරුමෙකු ද විය. තමන් අභිභවා මාලන් අවිස්සාවේල්ලේ කුඩු රජා බවට පත්වේ යැයි බියක් රමේෂ්ගේ සිතේ තිබුණ ද ඔහු එය නොපෙන්වා මාලන් සමග මිත්‍රකමක් පවත්වාගෙන ගියේය. එහෙත් ව්‍යාජ නඩුවලට පටලවා මාලන් කීප වතාවක් බන්ධනාගාරයට යැවීමට ද රමේෂ් වගබලා ගත්තේය. ඒ නිසා දෙදෙනා අතර සීතල යුද්ධයක් කලක පටන් පැවතුණි. තම මව සමග තිබෙන සම්බන්ධය හේතුවෙන් රමේෂ්ගේ පියා සමග වෛරයෙන් සිටි මාලන් දිනක් රමේෂ්ගේ පියාට පහරදී තුවාල කළේය. පිටතින් නොපෙන්නුව ද මත්ද්‍රව්‍ය අලෙවි ඒකාධිකාරය පිළිබඳව රමේෂ්ගේ සිතේ මාලන් සමග කෝපයක් ඇවිළී තිබිණි. එය උත්සන්න වූයේ මාලන් විසින් තම පියාට පහරදීම නිසාය.

“..පුතේ..මාලන් කියන එකා විස්වාස කරන්ඩ එපා..ඌ තැන තැන කිය කිය යනවලු උඹ මරනවා කියලා..ටිකක් පරිස්සමින් ඉඳින්..”

රමේෂ්ගේ පියා රමේෂ්ට කීප වතාවක් පවසා තිබිණි. මේ අතර 40 වළෙන් තමන්ට ද කොටසක් දෙන ලෙස මාලන් ඉල්ලා සිටිය ද රමේෂ් එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළේය.

පසුගිය දෙසැම්බර් 16 ජෝර්ජ් මාලන්ගේ ජීවිතයේ ඉරණම තීන්දු වූ දිනයයි. එදින උදෙන්ම යතුරුපැදියේ නැගුණු මාලන් තම හොඳම මිතුරා වූ කසුන් හමුවීමට ඔහුගේ නිවසට ගියේය. එහිදී කසුන්ගේ නිවසින් උදේ ආහාරය ගෙන දහවල් දෙකට පමණ අවිස්සාවේල්ල නගරයට පැමිණ මත්පැන් හලක බියර් පානය කරන අතරතුර රමේෂ්ට දුරකතන ඇමතුමක් ගත්තේය.

“..රමේෂ්..තනියම කන්ඩ එපා බං..අපටත් ටිකක් දීපංකෝ..40 වළෙන් පොඩි කෑල්ලක් දියංකෝ..”

“…හා..හා..කෑලි මොකටද..උඹල ඉතිං ලොකු මිනිස්සුනේ..”

රමේෂ් පැවසුවේ අමනාපෙනි.

“..වරෙන් බියර් එකක් ගහන්න..කසුනුත් ඉන්නවා..”

මාලන් කීවේය.

“..උඹලා ඉතිං අපිත් එක්ක බොන්නෙ නෑනෙ..පුළුවන් නං බියර් දෙකක් අරං අපේ ගෙදර වරෙං..”

රමේෂ් පැවසුවේ මාලන්ගේ ඉරණම තීන්දුකරන සැලසුමට මුල පුරමිනි.

“..හරි..පැය බාගෙන් අපි ඔතන..”

මාලන් පැවසීය.

මාරාවේශ වූ රමේෂ් තම සැලැස්ම ආරම්භ කළේය. 29 හැවිරිදි රමේෂ් කුඩා දියණියන් දෙදෙනකුගේ පියෙකි. කැලණි ගඟ අසබඩ පිහිටි ඔහුගේ නිවස කුඩා වුව ද නිවස වටා අඩි 10 ක් පමණ උස තාප්පයකි. සෑම තැනම CCTV කැමරා සවිකර තිබුණි. නිතරම ලිහා දමා ඇති මිනීකන දඩබල්ලන් රෑනක් සිටින නිසා පොලීසිය තබා කිසිම කෙනකු රමේෂ්ගේ වත්තට ඇතුළු නොවෙති. නිවසට ඇතුළුවීමට විශාල ගේට්ටුවක් ද ඊට යාබද කුඩා ගේට්ටුවක් තිබේ නිවසේ ආරක්ෂකයා වී සිටි “ඇම්ඩා” නිතරම සෝදිසියෙන් සිටින සුවච කීකරු ගෝලයෙකි.

මාලන් සමග පැවති දුරකතන සංවාදය හමාරවනවාත් සමගම රමේෂ් මුලින්ම සියලුම CCTV ක්‍රියා විරහිත කළේය. තම බෝර 12 තුවක්කුව අතටගත් රමේෂ් ඊට පතොරමක් ඇතුළු කළේය. අනතුරුව ගේට්ටුව අසලට ගිය රමේෂ් කුඩා ගේට්ටුව විවෘත කළේය. තාප්පෙට මුවාවී තුවක්කුව අමෝරාගෙන සිටි රමේෂ්ට මාලන් හා කසුන් එන යතුරුපැදියේ හඬ ඇසිණ. බියර් බෝතල් දෙක සහිත පාර්සලය තබාගෙන මාලන් පසුපස ආසනයේ සිටියේය. යතුරුපැදිය පැදවූයේ කසුන්ය.යතුරුපැදිය කුඩා ගේට්ටුවෙන් ඇතුළුවී බැසීමට සුදානම් වෙත්ම හෙණහඬ නංවමින් රමේෂ් අත වූ තුවක්කුව පත්තු විය. කසුන්ගේ කරට උඩින් රමේෂ් තැබූ වෙඩිල්ල මාලන්ගේ පපුව පසාරු කරගෙන ගියේය. මරලතෝනි දෙමින් මාලන් බිම ඇදවැටුණි. රමේෂ් ඊළඟ පතොරම දමා කසුන්ට ගැස්සුව ද තුවක්කුව පත්තු නොවීය.

“..අනේ වෙඩි තියන්න එපා අයියේ..”

යැයි ඇම්ඩා කෑ ගැසුවේය.

කසුන් මරබියෙන් ගැහෙන්නට විය. රමේෂ් උත්සාහ කළේ කසුන්ටත් වෙඩි තබා සාක්ෂි නැති කිරීමටය.

“..මේක පත්තු වුණේ නෑ..උඹ බේරුණා…. හැබැයි පුතෝ මේගැන සාක්කි දුන්නොත් උඹ විතරක් නෙමේ..තොගේ පරම්පාරවම බාවනවා..”

රමේෂ් මාරාවේශයෙන් කීවේය.

වෙඩි වැදී පණ අදිමින් සිටින මාලන්, කසුන් සමග එක්වී ගඟ අද්දරට ගෙනියන රමේෂ් එහි බිම වාඩිවී බියර් පානය කිරීම පටන් ගත්තේය. එම බියර් ගෙනාවේ මාලන්ය. බියර් පානය කරන අතරතුර ඔහු දුරකතන ඇමතුමක් ගත්තේය. ඒ ඔහුගේ පාසල් මිතුරකු වූ නදීරටය. රමේෂ්ගේ ඊළඟ උපාය මාලන්ගේ ඝාතනයට නදීර සම්බන්ධ කිරීමටයි. ඊට හේතුව වරක් විශේෂ කාර්ය බළකාය මගින් ජීව අත් බෝම්බයක් ද සමග රමේෂ් අත්අඩංගුවට පත්වීමට ඔත්තුව සැපයූවේ නදීර යැයි සැක සිතූ නිසාය. රමේෂ් ඔහුට පවසන්නේ තමාට හදිසි කරදරයක් නිසා තම නිවසට පැමිණෙන ලෙසයි. අහිංසක දරු පවුල්කාරයෙක් වූ නදීර තම මෝටර් රථයෙන් රමේෂ් සොයා පැමිණියේය. එහි පැමිණි විගස දුටු දෙයින් නදීරට උන්හිටිතැන් අමතකව ගියේය. නදීර වහා ආපසු යාමට සැරසුණද එය වළකාලූ රමේෂ් නදීරට ද මරණ තර්ජනය කර රඳවා ගත්තේය.මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා දෙදෙනෙක් වෑන් රථයකින් රමේෂ්ගේ නිවසට ආවෝය. එම වෑන් රථය අසලට ගිය රමේෂ් ,

“..මචං ..බඩු තියෙනවා..දෙන්නං..පොඩි හදිස්සියක්..වෑන් එක පොඩ්ඩකට දියං..කෙල්ලෙක් ඉන්නවා කළුතරට යන්න..එයාව ඇරලවල එන්නං..කෙල්ලව දාලා නාපාවල හන්දියට එන්නං..උඹල මේ මෝටර් බයික් එකේ ගිහිල්ලා නාපාවල හන්දියේ හිටපල්ලා..”

එසේ කියූ රමේෂ් කසුන් හා මාලන් පැමිණි යතුරුපැදිය අයිස් ගැනුම්කරුවන්ට දී ඔවුන් පිටත්කර කසුන්ගේ හා නදීරගේ උදව් ඇතිව මාලන්ගේ සිරුර වෑන් රථයේ පටවා ගත්තේය. ඒ වනවිට රාත්‍රි 7.30 ට පමණය. රමේෂ්ගේ මරණ තර්ජන නිසා ඒ වනවිට කසුන් හා නදීර රමේෂ් පවසන ඕනෑම දෙයක් කිරීමට පෙලඹී සිටියෝය.මාලන්ගේ සිරුර පැටවූ වෑන් රථයේ කසුන්, නදීර හා ඇම්ඩා නැග්ගවූ රමේෂ් උදැල්ලක් හා අලවංගුවක් ද වෑන් රථයට දමා නදීරගේ මෝටර් රථයේ නැගී තමාගේ පසු පසින් එන ලෙසට ඔවුන්ට පැවසීය. වෑන් රථය පැදවීම භාර කළේ නදීරටය. වාහන දෙකම ගමන් කළේ නිස්සරණ වන රක්ෂිතයටයි. එහෙත් ඊට ඇතුළුවත්ම වෑන් රථයේ එන්ජිම නතර විය. පණගැන්වීමට කෙතෙක් උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වූ තැන මාලන්ගේ සිරුර බිමට ගත් රමේෂ් වළක් කපා එය වළදාන ලෙස කසුන්ටත් ඇම්ඩාටත් පැවරීය. ඉන්බිතිව නදීර සමග වෑන් රථය තල්ලු කරගෙන මඳ දුරක් ගොස් එය මාර්ගය අයිනේ තබා නදීරගේ මෝටර් රථයෙන් නාපාවල හන්දිය වෙත ගියේ යතුරුපැදියේ ගිය අයිස් ගැනුම්කරුවන් දෙදෙනා මුණ ගැසීමටයි. ඔවුන් හමුවී රමේෂ් පැවසුවේ වෑන් රථයේ ඉන්ධන ඉවර වූ හෙයින් අතරමග නවතා පැමිණි බවයි. අනතුරුව අයිස් ගැනුම්කරුවන් දෙදෙනාත් රමේෂ් හා නදීරත් රමේෂ්ගේ නිවසට පැමිණ ගැනුම්කරුවන්ට අයිස් වික්කේය. නදීරගේ මෝටර් රථයෙන් ගොස් වෑන් රථයට ඉන්ධන රැගෙන ඔවුන් පිටත්කර රමේෂ් හා නදීර, මාලන්ගේ සිරුර වළදාන ස්ථානයට ගියෝය. ඔවුන් යනවිට සිරුර වළදමා කසුන් පලාගොස් සිටියේය. ඇම්ඩා පමණක් වළ අසල සිටියේය.පසුව ඇම්ඩා ද මෝටර් රථයේ නංවා ගත් රමේෂ් ආපසු සිය නිවස කරා පැමිණියේ නදීරද සමගය.

නදීර ද සිය මෝට රථයෙන් නිවසට ගියේය. රමේෂ් කිසිවක් නොවුණා සේ පසුවදා එනම් දෙසැම්බර් 17 වන දින මාලන්ගේ නිවසට ගොස් මාලන්ගේ මවගෙන් මාලන් පිළිබඳ විමසීය. ඇය පවසා ඇත්තේ මාලන් පෙරදින නිවසට නොපැමිණි බවයි.

“..ඊයේ ඉඳන් කොහෙද මාලන් ගියේ..කරදරයක් ද දන්නෑ..ඇන්ටි..කෝකටත් පොලීසියේ ඇන්ට්‍රියක් දාන්න..”

යැයි පවසා ආපසු නිවසට පැමිණ තිබේ.

මෙම සිදුවීම පිළිබඳ සියලු තොරතුරු වචනයක් නෑරම විශේෂ කාර්ය බළකායට ලැබී තිබුණේය. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි කේෂර රත්නවීරගේ මෙහෙයවීමෙන් ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2 ස්ථානාධිපති පොලිස් අධිකාරි පාරමුල්ලගේ ඇතුළු නිලධාරී කණ්ඩායම දෙසැම්බර් 19 දින විශේෂ මෙහෙයුමක් අරඹා අවිස්සාවේල්ල තල්දූව ආසන්න ගුරුගල්ල ප්‍රදේශයේ දී වාහනයක ගමන් කරමින් සිටි රමේෂ් හා ඇම්ඩා ද පසුව කසුන් ඇතුළු සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගනු ලැබීය.

කේ.එම්.එස්.කරුණාරත්න – අනුරාධපුර