ජනපති සුද්ද කල බේරේ වැවට කොළඹ නගර සභාව මලපහ බැර කරයි

බේරේ වැව පවිත්‍රකරණ වැඩසටහන් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළද තවදුරටත් කොළඹ මහ නගර සභාවෙන් බේරේ වැවට මල අපද්‍රව්‍ය බැහැර කිරීම නතර කර නොමැති බැවින් මෙම පවිත්‍රකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට බාධා පැමිණෙමින් තිබෙන බව වාර්තාවේ.

නගරයේ අපජල මාර්ග වැවට වැටෙන ස්ථාන කිහිපයකින් යොමු කර ඇති අතර එම මාර්ගවලින් වැවට මල අපද්‍රව්‍ය එකතු වේ. එම අපජලය බැහැර නොකරන ලෙස කොළඹ මහ නගර සභාවට දිගින් දිගටම දැනුම් දුන්නද එම උපදෙස් පිළිබඳව තැකීමක් නොකරන බව පැවසේ.

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැල සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම දෙසැම්බර් 21 වැනිදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිදු කෙරිණි. අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම ආදී තත්ත්වයන් හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී තිබේ. එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මැදිහත්වීමෙන් පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලේ. පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වන අතර එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදුවේ.

මේ සම්බන්ධයෙන් ‘අරුණ’ කළ විමසීමකදී ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය එන්.එස්. විජේරත්න සඳහන් කරන ලද්දේ බේරේ වැවට මල අපද්‍රව්‍ය බැහැර නොකෙරේ නම් මෙම ව්‍යාපෘතියේ අවශ්‍යතාවක් පවා නොමැති බවයි. නියමිත පරිදි ප්‍රතිපාදන වෙන්කිරීමක් සිදුවුවහොත් වසර දෙකක් වැනි කාලයකදී බේරේ වැවට මල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්පුර්ණයෙන්ම නතර කළ හැකි බවද ආචාර්ය විජේරත්න පෙන්වා දුන්නේය. මේ පිළිබඳව අදහස් විමසීමට ‘අරුණ” අවස්ථා ගණනාවකදී කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනි දිසානායකට ඇමතුම් ලබාදුන්නද ඇය සම්බන්ධ කරගත නොහැකි විය.

උපුටා ගැනීම – අරුණ