NEWS

හිටපු මැති ඇමතිවරු 64 කටත් ප්‍රභූ ආරක්ෂාව..රවී-රුවන්-සාගල සහ හිමිවරු 15 කුත් ඒ අතර

හිටපු ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු ඇතුළු 64 දෙනකුට තවදුරටත් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන බව වාර්තා වේ. එලෙස ආරක්ෂාව ලබා දෙන අය අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, සංස්ථා සභාපතිවරයකු, කොමිෂන් සභා සාමාජිකයකු, ප්‍රධාන පෙළේ හිමිවරුන් පහළොස් නමක, හිටපු ආණ්ඩුකාරවරුන් දහතුන් දෙනකු හා හිටපු මැති ඇමැතිවරුන් තිස් හය දෙනකු සිටින බව දැන ගන්නට ඇත.

ඔවුන්ට ඇමැති ආරක්ෂක කොට්ඨාසය මගින් නිලධාරීන් දෙදෙනකුගේ සිට දස දෙනකු දක්වා ලබාදී තිබේ. මේ අතර පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රි ධුරයක් හිමි පක්ෂයක නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ ඇමැති ආරක්ෂක නිලධාරීන් එකසිය විසි දෙනෙක් ආරක්ෂාව සඳහා ලබාදී ඇත.

හිටපු මන්ත්‍රිවරුන් වන රවි කරුණානායක, සාගල රත්නායක, රුවන් විජේවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ දොළොස් දෙනකුටත්, පොදුජන පෙරමුණට සහාය පළ කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහතුන් දෙනකුට මෙසේ ආරක්ෂාව ලබාදී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ තිදෙනකුටත් මේ ආකාරයෙන් ආරක්ෂාව ලබා දී ඇත. ඊට අමතරව ඇමැති ආරක්ෂකයන් නව දෙනකු ලබාදී ඇත්තේ නැගෙනහිර පළාතේ හිටපු දෙමළ මන්ත්‍රිවරයකුටය.

හිටපු ආණ්ඩුකාරවරුන් දහතුන් දෙනකුට ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බැගින් ලබාදී ඇති අතර තවත් හිටපු ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කර පසුව කොමිෂන් සභාවක සාමාජිකයකු ලෙස කටයුතු කරන අයකුට නිලධාරීන් හය දෙනකුගේ ආරක්ෂාව ලබාදී තිබේ. හිටපු ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම, පී. ජයසිංහ, ඒ.බී. රැකව, කේ.සී. ලොගේෂ්වරන්, රෙජිනෝල්ඩ් කුරේ, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රජිත් කීර්ති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න, පේෂල ජයරත්න, සරත් ඒකනායක, ධම්ම දිසානායක, හේමාල් ගුණසේකර, පී. එස්. එම්. චාල්ස් මෙලෙස ආරක්ෂාව හිමි වූ අය අතර වේ.

ඊට අමතරව ප්‍රධාන පෙළේ හිමිවරුන් හා ජනාධිපති කාර්ය සාධක බලකායක ප්‍රධානියකු ඇතුළු හිමිවරුන් පහළොස් නමකට ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ සිට පස් දෙනා බැගින් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකරවරයෙක් වන රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එය ධුරාවලිය අනුව ලැබෙන වරප්‍රසාදයක් පමණක් බවත් දීර්ඝ කාලයක් තිස්සේ එම වරප්‍රසාද භුක්ති වින්ද අය ඉන්නා බවත්ය.