NEWS

ඉරානයෙන් ගත් ණය වෙනුවට තේ යැවීමට එකඟතාවය

ඉරානයෙන් මිලදීගත් ඛනිජ තෙල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 251ක මුදලක් වෙනුවෙන් ශ්‍රී ලංකා වැවිලි අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ සෑම මසකම ඩොලර් මිලියන 5 ක් වටිනා තේ ඉරානයට අපනයනය කෙරෙන අතර එමගින් පසුගිය වසර හතර පුරා එරටින් ශ්‍රී ලංකාව ලබාගත් ඉන්ධනවල වටිනාකම ක්‍රමානුකූලව පියවීමට මෙරට බලධාරීන් එකඟවී ඇති බව සඳහන් විය.

ණය බර ක්‍රමානුකූලව අවම කරගැනීම මෙහි අරමුණයි.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් කළ යුතු දී පිළිබඳව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන තුනකට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ රාත්‍රියේ නිල වශයෙන් නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ තිබෙන මූලිකම අභියෝග දෙක වන්නේ විදේශ සංචිතය ඉහළ නංවාගැනීම සහ ණය ආපසු ගෙවීමේ විශ්වසනීයත්වය ගොඩනගාගැනීමයි.