NEWS

ෆීල්ඩ් මාෂල් කෙනෙක් හැසිරෙන්න ඕන විදිහ සරත් ෆොන්සේකා ඉගෙන ගන්න ඕනා – ඇමති සරත්

මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කලින් කලට පුවත් මවන ඇමැතිවරයෙකි පොලිසිය භාර ඇමැතිවරයා වන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රත්තරන් ගොඩ ගන්න ගිය බවට ගිය සතියේ චෝදනාවක් එල්ල විය. ඒ අතරේ ඇමැතිවරයා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර පාර්ලිමේන්තුවේ දී හැමදාමත් ගැටුම්ය. අසාද් සාලි අන්තවාදීන්ට සම්බන්ධ බව ඇමැතිවරයා දැඩිව චෝදනා කළද ඔහු අධිකරණයෙන් නිදහස ලැබීය. අවසානයේ දී පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ඒ දේම වේවිද මේ ඒ ගැන ‘සතිඅග අරුණ’ ඔහු සමග කළ සාකච්ඡාවකි.

එල්.ටී.ටී.ඊ. කාලයේ උතුරේ වළදමා ඇති බව කියන රත්රන් ඔබගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ගොඩ දැමීමට සූදානම් වූයේ යැයි චෝදනාවක් එල්ල වී තිබෙනවා?

ඔව්. චෝදනාව එල්ල වන්නේ මගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුටයි.

අමාත්‍යවරයකුට ප්‍රධාන වශයෙන් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරු පස් දෙනකු ඉන්නවා. ඔහුත් මේ පස්දෙනාගෙන් එක් අයෙක්. ඔහුට හොඳ දේශපාලන දැනුමක් තියෙනවා. චෝදනාවක් තිබෙන නිසා තාවකාලිකව ඔහු සේවයෙන් ඉවත් කළා. මේ ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් කීවාම චෝදනාව බරපතළයිනේ?

ඒක ඇත්ත. උතුරේ රත්තරන් වළලා තිබෙන බවට අපිට තොරතුරු රැසක් ලැබී තිබෙනවා. තවම ඔහුට තිබෙන්නේ චෝදනාවක් විතරයි. ඔප්පු වෙලා නැහැනේ.

නමුත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක් සම්බන්ධීකරණ ලේකම්වරයාට යාමෙන් අමාත්‍යාංශය පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට අවිශ්වාසයක් ඇති වෙනවනේ?

මෙවැනි තොරතුරු ලැබුණම මම අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දෙනවා. අධිකරණ නියෝගයක් ගෙන පොලිසිය, පුරාවිද්‍යාව, එකතු කර ගෙන නිල වශයෙන් කැණීම් කරන්න කියලා. මම කිසි දෙයකට ඇඟිලි ගහන්නෙ නැහැ. මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාත් උතුරේ රත්තරන් වළලා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ගෙනාවා. පුදුකුඩිඉරිප්පු ස්ථානය පිළිබඳවත් තොරතුරු දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණයේ ප්‍රතිඵල දෙස අපි බලාගෙන ඉමු.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කෙරුණත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඔබගේ ලේකම්වරයා ගැන තොරතුරු හෙළි කළ පුදුකුඩිරිප්පු පොලිසියේ ස්ථානාධිපතිවරයා දඩයම් කරන්න හදනවා කියා මාධ්‍ය වාර්තා කර තිබුණා.

මට නම් තොරතුරු වාර්තා වී නැහැ. නමුත් මම නීතිය අකුරට ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ආරක්ෂා කරනවා. මම කියන්නේ හරි දේ කරන්න කියලා.

ඒ විශ්වාසය පොලිස් නිලධාරීන් සතුව තිබෙනවාද?

මම හිතනවා තිබෙනවා කියලා.

ඒත් හිටි හැටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මාරු වෙනවා. මේවා වෙන්නේ දේශපාලන හේතු මතද?

දේශපාලන හේතු මත නොවෙයි. රාජකාරි හේතු මතයි. එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කළේ සෞඛ්‍යමය කරුණක් මතයි. බන්ධුල ගුණවර්ධන අමාත්‍යරවාය කියන ස්ථනා මාරුව අභ්‍යන්තරයේ පමණයි කරලා තිබෙන්නේ. මාරු කළා කියලා පරීක්ෂණයට බාධාවක් වුණේ නැහැ. පුවත්පත් කතුවරුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වන්න එපා කියා මම දැනුම් දුන්නා.

ඔබ එසේ ප්‍රකාශ කළද ජනාධිපති ලේක්ම්වරයාගේ උපදෙස් මත අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට සී.අයි.ඩී.යට කැඳවීමක් ලැබුණනේ?

ජනපති ලේකම්වරයා දැනුම් දීම කර තිබුණේ පොලිස්පතිවරයාටයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවෙයි. නමුත් සංවේදී කාරණා සම්බන්ධයෙන් වාර්තා කළොත් මාධ්‍යවේදීන්, කතුවරයා කැඳවන්න පුළුවන්. මම නම් කියන්නේ ජනාධිපති ලේකම්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ‘ඕඩර්’ දෙන්න බැහැ.

අසාද් සාලිටත් චෝදනා ගොනු කිරීමට පරීක්ෂණ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඔහු අන්තවාදින්ට සම්බන්ධයි කියලා ඔබත් චෝදනා කළා. නමුත් ඔහුට නීතියෙන් නිදහස හිමි වුණානේ?

අධිකරණය දෙන තීන්දුවකට අපිට විරුද්ධ වෙන්න බැහැ. අපේ හෘද සාක්ෂියට අනුව අසාද් සාලි කළේ වැරැද්දක්. නමුත් අධිකරණයේ ස්වාධීන බව ඔප්පු කර තිබෙනවා. අධිකරණය අපිට පක්ෂපාතී බවට නැගෙන චෝදනාවලට හොඳම උත්තරය මෙම නඩු තීන්දුවයි. නීතිපතිවරයා තමයි අධි චෝදනා ගොනු කළේ. පොලිසිය විමර්ශන කළා විතරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්.

මෙහෙම ගියොත් පාස්කු නඩුවටත් ඔය ටිකම වෙයිද?

පාස්කු ප්‍රහාරයේ නඩුවට ඔය ටික වෙයි කියා මම නම් හිතන්නෙ නැහැ. පාස්කු ප්‍රහාරය ගැන මම හොඳට දන්නවා. චෝදනා විසි හත් දහසක් තියෙනවා.

ආණ්ඩුව බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දෙනවා කියලා. නමුත් එම පරීක්ෂණ ප්‍රමාදයිනේ?

එකම චෝදනාවක් තියෙනවා. නමුත් ඉක්මනින් කළාම අසාද් සාලිගේ නඩුවට වුණ දේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉක්මන් කළාම නීතියේ තිබෙන හිඩැසෙන් සැකකරුවන්ට පැනලා යන්න පුළුවන්. ඇමරිකාවේ සැප්තැම්බර් ප්‍රහාරයේ නඩු ගොනු කළේ වසර විස්සකට පසුවයි. වැඩේ හරියට කරන්න ඕනිනේ. වසර දෙක හමාරක කාලයක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද සියලු ලිපි ගොනු නීතිපතිට දුන්නා. නීතිපතිටත් චෝදනා ගොනු කරන්න කාලයක් යනවා. අඩි හතරක් විතර උස ලිපි ගොනු තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ හතරක් තිබුණා. සියල්ලම අධ්‍යනය කළ යුතුයි. කල් ගත වීම සම්බන්ධයෙන් තේරුම් ගත් අයත් ආණ්ඩුවට චෝදනා කරනවා.

මහ බැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන්ද චෝදනාවලින් නිදහස් වෙනවනේ?

මහ බැංකුවේ සිද්ධිය මූල්‍යමය ප්‍රශ්නයක්නේ. ඒ ගැන මම දන්නේ නැහැ.

අත්අඩංගුවට ගන්න පාතාල කල්ලි සාමාජිකයන් පොලිසිය මරා දමන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය චෝදනා කරනවා?

පාතාල කල්ලි කරන අපරාධ වළක්වන්න ඔය චෝදනා කරන නීතිඥ සංගම් කටයුතු කරන්නේ නැහැනේ. ආයුධ පෙන්වන්න ගියාම පොලිස් නිලධාරීන් ජීවිතාරක්ෂාවට තමයි වෙඩි තියන්නේ. මෙම පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගන්න කියලත් ඔය කියන සංගම් කියන්නෙ නැහැනේ. ඔවුන් මිය ගියාම තමයි චෝදනා කරන්නේ. මේ මරණ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ කරනවා. මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් වෙනවා. පොලිසිය වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයෙන් දඬුවම් ලැබෙයි. පොලිසියේ රාජකාරියත් නීතිඥ සංගම් තේරුම් ගත යුතුයි. අවදානමකින් තමයි පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නේ.

ජිනීවා මානව හිමිකම් කොමිසම පවා මෙම සිද්ධින් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවානේ?

ඕනෑම කෙනකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපේ අධිකරණය ස්වාධීනව විභාගයක් පවත්වා වැරැදි නම් දඬුවම් දෙයි. සාමය ආරක්ෂා කරන්න ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරය හදන්න පොලිසිය කැප වෙලා ඉන්නවා.

ඔබ රාජකාරි ආරම්භ කළ දවසේම ප්‍රකාශ කළා පාතාලය මර්දනය කරනවා කියලා. එය ඉටු වී තිබෙනවාද?

සියයට අනූනවයක් පාතාලය මර්දනය වෙලා තිබෙනවා. පාතාලයේ ප්‍රබල ක්‍රියාකාරකම් දැන් අහන්න ලැබෙන්නේ නැහැනේ. කප්පම්කරුවොත් අඩු වෙලා තියෙනවා. ස්ත්‍රී දූෂකයන්, ළමා අපයෝජකයන් අඩු කරන්න තමයි දැන් සැලසුම් කරන්නේ.

මොකද මේ හැමදාමත් පාර්ලිමේන්තුවේ දී සරත්ලා-සරත්ලා රණ්ඩු සරුවල් වෙන්නේ?

‘සරත්ලා’ අතර කිසිම ගැටුමක් නැහැ. අපි දෙන්නම හිටියේ හමුදාවේ. හමුදාවේ නිලධාරීන් මහත්මයෙක් ලෙස හඳුන්වනවා. අපි තුළ මහත්මා ගතිය තිබිය යුතුයි. මහත්මා ගතිය නැති වෙන විදිහට කතා කරන කොට තමයි මේ වගේ ගැටුම්වලට යන්නේ. සරත් ෆොන්සේකා කියන්නේ හොඳ සෙන්පතියෙක්.

වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේ ඔබ නොසලකා හරින විට සරත් ෆොන්සේකා ඔබට උදව් කළානේ?

සරත් ෆොන්සේකා මහත්තයා මට උදව් කරලා තියෙනවා. මමත් එයාට උදව් කරලා තියෙනවා. සරත් ෆොන්සේකාට යුද හමුදාවේ කිසිදු නිවාඩු නිකේතනයක් දුන්නෙ නැහැ. මම තමයි නාවික හමුදාවේ නිවාඩු නිකේතනය දුන්නේ. ඒ එක උදව්වක් විතරයි. මිනිස්සුන්ට අපහාස කිරීම හොඳ දෙයක් නොවේ. අපහාසයක් කරනවා නම් සීමාවක් තිබිය යුතුයි. දරා ගැනීමට නොහැකි ස්ථානයකට පැමිණියාම ජරා දේශපාලනයට අපිත් වැටෙනවා.

ඔබ කියන්නේ ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරටත් අගෞරවයක් කරනවා කියලද?

ෆීල්ඩ් මාර්ෂල් තනතුර වැදගත් තනතුරක්. විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒවගේ තනතුරක් දරන කෙනෙක් හැසිරෙන ආකාරය ඉගෙන ගන්න පුළුවන් ඉන්දියාවේ ජෙනරල් සැමි මනික්ෂෝගෙන් ඔහු වෙනුවෙන් පිළිම හදලා තියෙනවා. මුද්දර නිකුත් කර තිබෙනවා. නමුත් ලංකාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර වෙල් විදානේ තත්ත්වයට බැහැලා තියෙනවා. කාගේද වැරැද්ද? වැරැදි හදා ගත යුතුයි.

ඔබ දෙදෙනා අතර තියෙන්නේ යුද ජයග්‍රහණයේ ප්‍රශ්නයක්ද?

නැහැ.

යුද ජයග්‍රහණයේ පස් දෙනා අතර ඔබත් ඉන්නවා කියනවා. නමුත් සරත් ෆොන්සේකා කියන්නේ ඔබ නැහැ කියනවා?

එයාට එහෙම කියන්න බැහැ. ආරක්ෂක ලේකම් යුද්දෙට නායකත්වය දුන්නා. ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන නායකත්වය දුන්නා. යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති සහ සිවිල් ආරක්ෂක බළකා ප්‍රධානියා එම පස් දෙනයි.

එතකොට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා යුද ජයග්‍රහණයට නැද්ද?

එයත් ඉන්නවා. එතකොට හය දෙනෙක් ඉන්නවා.

ඔබ කියන්නේ යුද ජයග්‍රහණය කණ්ඩායම් හැඟීම නිසා ලබා ගත් ජයග්‍රහණයක් කියලද?

නාවික හමුදාව එල්.ටී.ටී.ඊ. ආයුධ නැව් පුපුරුවා හැරියේ නැත්නම් සරත් ෆොන්සේකා තවම යුද්ධ කනවා. ගුවන් හමුදාව පාබළ හමුදාවට සහාය දෙමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළා. පොලිස්පතිතුමා සමග පොලිස් විශේෂ කාර්ය බළකාය දායකත්වය දුන්නා. සිවිල් ආරක්ෂක බළකාය තමයි තර්ජිත ගම්මාන සියල්ල ආරක්ෂා කළේ. එම නිසයි අපි සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමි වුණේ. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළේ නැහැ කියන්න බැහැ. මේක යුද හමුදාවේම ජයග්‍රහණයක් නොවෙයි. යුද්ධය දිනන්න හෝ පරදින්න දේශපාලන නායකත්වය ඉතා වැදගත්. මහින්ද රාජපක්ෂ මහත්තාය යුද්ධ නොකර අත්හැරියා නම් සරත් ෆොන්සේකා කෙනෙක් මිනිස්සු දන්නේ නැහැ. මම තමයි යුද්ධෙ දිනුවේ කියලා කවුරු හරි කියනවා නම් එය වැරැදියි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කළ ඔබ කොළඹ දිස්ත්‍රික්කයෙන් වියත් මගේ දේශපාලනයක් කරන්න තීරණය කළේ ඇයි?

මෙවරත් මම අම්පාරෙන් මහ මැතිවරණයට ඉල්ලුවා නම් පළමු වැනියා වෙනවා. කොළඹින් ඉල්ලන්න යන කොට මට චකිතයක් තිබුණා කොළඹට මම වැඩ කරලා තිබුනේ නැති නිසා. නමුත් මම කරලා තිබුණු ජාතික මෙහෙවරට මිනිස්සු මට ඡන්දය දුන්නා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට මම ගරු කරනවා.

වියත් මගේ දේශපාලනයෙන් රට තුළ වියත් දේශපාලනයක් ඇති වෙලා කියලා ඔබ සිතනවාද?

වියත් මගෙන් තමයි ජනාධිපතිතුමා නිර්මාණය කළේ. කොවිඩ් වසංගතයක් එයි කියලා වියත් මග හිතුවේ නැහැනේ. එම නිසයි ව්‍යාකූල බවක් තියෙන්නේ. ආර්ථිකය පසු බෑමක් ඇති වුණත් අපි නැගී සිටිය යුතුයි.

ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු මන්ත්‍රීවරු ගමටවත් යන්න බැහැ කියනවා. ඔබටත් එවැනි ප්‍රශ්නයක් තියෙනවාද?

මට නම් එවැනි ප්‍රශ්නයක් නැහැ. ප්‍රචාරණය තමයි වැඩිපුර තියෙන්නේ. ජනතාව බුද්ධිමත් විය යුතුයි. ජනතාවට ඇත්ත කියන්න ඕනි. සංචාරක ව්‍යාපාරයෙන් හා විදේශගත ශ්‍රමිකයන් එවන මුදල්වලින් තමයි අපිට ඩොලර් ලැබෙන්නේ. ඒවා නිසි පරිදි ලැබෙන්නේ නැහැ. කොවිඩ් වසංගතය නිසා තමයි මෙම ප්‍රශ්න ඇති වුණේ. මේකට ජනාධිපතිතුමාට හෝ රජයට බැනලා වැඩක් නැහැ. එය වැරැදියි. වැඩි වන ජීවන වියදමට සරිලන ලෙස ජනතාවගේ ආදායම වැඩි කිරීමට කටයුුතු කළ යුතුයි. මට නම් ගමට යන්න පුළුවන්. මට කවුරුවත් මෙතෙක් ‘හූ’ කියලා නම් නැහැ.

‘පොලිස් ස්ථානාධිපති’ තනතුරු ගැනීමට දේශපාලනඥයන්ගේ හෝ ආසන සංවිධායකවරුන්ගේ ලිපි අවශ්‍යයි කියලා චෝදනාවක් තිබෙනවා?

එය හරිම වැරැදි කතාවක්. පොලිසිය දේශපාලනිකරණය වෙලා නැහැ. නමුත් ආසන සංවිධායකවරු සානුකම්පිත හේතු මත ලිපි නිකුත් කර තිබෙනවා. එවැනි ලිපි සලකා බලනවා. දේශපාලනඥයන් නිර්දේශ කළා කියලම අපි පොලිස් ස්ථානාධිති තනතුරු දෙන්නෙ නැහැ.