NEWS

ලක්ෂ 20 ක් ම දෙවෙනි එන්නත අරගෙන නැහැ..බහුතරය තරුණ පිරිස

කොවිඩ් එන්නත ලබා නොගත් බහුතරය තරුණ පිරිස වන බවත් දෙවැනි මාත්‍රාව ලබා නොගත් ලක්ෂ විස්සක් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවට දැනුම් දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම සිකුරාදා (10 වැනිදා) පැවැත්විණි. තවද වයස අවුරුදු හැට ඉක්මවූවන් හැටහත් දහසක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයතු අමාත්‍යාංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කළ සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

විවිධ ආගමික විශ්වාස සහ තරුණ පිරිස ‘ෆයිසර්’ එන්නත හැර වෙනත් එන්නත් ලබා ගැනීමට දක්වන මැළිකම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ඉදිරි දෙසතිය තුළ අධි මාත්‍රා එන්නත ලබා දී අවසන් කරන ලෙස ජනාධිපතිවරයා මෙම රැස්වීමේ දී උපදෙස් ලබා දී තිබේ. දෙවැනි මාත්‍රාවද ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් සපුරයි. මරණ අඩුවීම සහ කොවිඩ් පාලනය හේතුවෙන් අධිමාත්‍රා එන්නත ලබා ගැනීමට මෙන්ම එන්නත් ලබා ගැනීමට ජනතාව උනන්දු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙහි දී පෙන්වා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආනයනය කරන ලද එන්නත් මාත්‍රා මිලියන තුනකට අධික ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ගෙන තිබේ. එය සැලකිල්ලට ගෙන ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව තීරණය කර තිබේ. වයස අවුරුදු 16-19 ත් අතර දරුවන්ට දෙවැනි මාත්‍රාව සහ වයස අවුරුදු 12-15 ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබා දීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබා දීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ​උපදෙස් දුන්නේය.

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කර ඇත. සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.