NEWS

පාරිභෝගික අධිකාරියේ කිසිම කොන්දේසියකට අපි එකඟ නැහැ – ගෑස් සමාගම් කියයි

ගෑස් සිලින්ඩර වෙළෙඳ ​පොළට නිකුත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිිළිබඳ අධිකාරිය ලබාදුන් කොන්දේසිවලට එකඟ නොවන බව ගෑස් සමාගම් ප්‍රකාශ කරයි. කොන්දේසිවලට යටත්ව ඊයේ (5 වැනිදා) සිට වෙළෙඳ ​පොළට ගෑස් නිකුත් කිරීමට තීරණය කර තිබුණත් නියමිත පරිදි ගෑස් නිකුත් නොකළ බව සමාගම් පෙන්වා දෙයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පැවැසුවේ කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්නා බවය.

විෂය භාර ඇමැති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් ගෑස් සමාගම් සමග සිකුරාදා (3 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සමාගම් මෙම කොන්දේසිවලට එකඟ වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පැවැසුවේය.

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට පෙර ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා ‘මර්කප්ටන්’ අඩංගු කිරීම, ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සියයකින් එකක් පරීක්ෂා කර සීරියල් අංකය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට​ ලබාදීම එම කොන්දේසි වෙයි.

කෙසේ වෙතත් ලාෆ් හා ලිට්රෝ සමාගම් අලුතෙන් ආනයනය කළ ගෑස් තොග අද (6 වැනිදා) දිනයේ පරීක්ෂා කර වෙළෙඳ පොළට නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.