මන්ත්‍රීවරු 40 ක් ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක ?

එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් අර්ජුන රණතුංග ගිය සතියේ ප්‍රකාශ කර තිබුණේ පසුගිය මහා මැතිවරණයෙන් පසු පක්ෂයේ කිසිවක් සිදු නොවූ බැවින් ඉවත් වන බවයි. පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් මෙරටට පැමිණි අවස්ථාව්දීද අර්ජුන හමුවීමට ඔහු අමතක කළේ නැත. ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැන හඳුනාගත් මිත්‍රත්වයෙනි. ඉම්රාන් ඛාන් ගිය මග යාමේ අරමුණ තමන් සතුවද පවතින බව අර්ජුන එහිදීද පසක් කළේය. ඒ අනුව තමන් 2024 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වනබව ඔහු මහනුවරදී හෙළි කළේය.
අර්ජුන පිටුපස සිටින ඇමැතිවරු
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ අර්ජුන මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය. දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය. ඉන්පසු පොදු අපේක්ෂක සිහිනය මාධ්‍යයට කීවේය. එක්සත් ජාතික පක්ෂ දේශපාලනය ගැන කලකිරී සිටින තවත් හිටපු ඇමැතිවරු දෙදෙනෙක් අර්ජුන රණතුංග පිටුපස සිටිති. එක් අයෙක් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර අනෙක් අය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. ඔවුන්ගේද උපදෙස් මත පොදු අපේක්ෂක සිහිනයේ සිටින අර්ජුන තවත් සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේද සහයෝගය ගැනීමට කතිකා කරගෙන තිබේ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂවල සහයෝගය ගැනීමටද ඔහු තීරණය කර තිබේ.
කෙසේ වෙතත් පොදු අපේක්ෂක සිහිනයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය මේ පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. ජාතික ජන බලවේගයද ලබන විසි වැනිදා ‘‘රී ලොන්ඩ්’’ කිරීමට සැලසුම් කර තිබේ. ඒ 2024 ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමිනි. එදින ජාතික සමුළුවක් පවත්වා ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජාතික ජනබලවේගයද තීරණය කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජයේ පවතින ජන ප්‍රසාදය මුල් කර ගනිමින් නායකත්ව මණ්ඩලයක් පත් කිරීමටද සැලසුම් සකස් කර ඇත. කෙසේ වෙතත් කැප කිරීම් කළ හැකි පක්ෂ සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමටද ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
ප්රකෝටිපතියකුත් පොදු අපේක්ෂකයා වෙන්න හදයි
මේ අතර ජනාධිපති සිහිනයේ මෙන්ම පොදු අපේක්ෂක සිහිනයේ සිටින ව්‍යාපාරිකයන්ද දේශපාලන ක්ෂේත්රයේ සිටින ප්‍රබලයන් සමග මේ වන විට සාකච්ඡා පවත්වා තිබේ. 2024 දී පොදු අපේක්ෂකයා ලෙස ව්‍යාපාරිකයකුද ඉදිරිපත් කිරීමට සාකච්ඡා පවත්වන මොහොතක අර්ජුන රණතුංග ඉවත් වීමත් සමග සමගි ජන බලවේගයටද දුරකථන ඇමතුම් රැසක් ලැබුණි. මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන් ඇතැම් අය විමසා සිටියේ සමගි බලවේගයට එක්වෙනවාද යනුවෙනි.
සති කිහිපයකට පෙර විපක්ෂනායකයා සමග අර්ජුන කතාකරලා තිබුණා. අපි ඉදිරියේදී සියලු දෙනා එකතු කර ගමු’’ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සියලු දෙනාට පිළිතුරු දෙමින් කීවේය.
බල පෙරළියක්ද
කිසියම් බල පෙරළියක ලකුණු මේ වන විට වාර්තා වෙමින් තිබේ. ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන් හතළිහක් යන්න සූදානම් වෙනවා යන්න එක් වාර්තාවකි. අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දෙන දේශපාලන පක්ෂ දොළහකින් සමන්විත සන්ධානයක්ද ස්වාධීන වන බවට තවත් වාර්තාවකි. මේ සියලු දෙනාගෙන්ම කරුණු විමසීමේදී ඔවුන් කියා සිටියේ ‘‘අගමැතිතුමා හොඳ නිසා රැඳී සිටිනවා’’ යනුවෙනි. කෙසේ වෙතත් ආණ්ඩුව මුහුණ දී ඇති පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී වෙනත් ස්ථානවලදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් විය. අමාත්‍ය මණ්ඩලය මෙවර පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. භාණ්ඩ මිල ඉහළ යාම, ඩොලර් ප්රශ්නය ගැන මෙහිදී අවධානය යොමු විය. ‘‘බඩු මිල අඩු කරලා බඩු සුලභ කරන්න ඕන’‘ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ රැස්වීම ආරම්භ කරමින් කීවේය. ‘‘හැබැයි බදු නම් අඩු කරන්න බැහැ’’ ඔහු මාර්ග බාධකයක්ද දැම්මේය. නමුත් ඇමැතිවරුන් කියා සිටියේ භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවට දරා ගත නොහැකි බවයි.
‘‘බඩු මිල හා පවතින ප්රශ්නවල ඇත්ත තත්ත්වය ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ගමේ මිනිහට මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. එම නිසයි රජය අප්‍රසාදයට පත් වෙන්නේ’’ ඇමැති සරත් වීරසේකර කීවේය. ‘‘හැමදේම මගේ පිට පවරන්න එපා. ඇමති මණ්ඩලයත් වග කිව යුතුයි‘’ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සියලු කරුණු සාවදානව අසාගෙන සිටීමෙන් අනතුරුවය. ‘‘අපි දුන් ඇතැම් පොරොන්දු ඉටු කර නැහැ’’ ඔහු වැඩිදුරටත් කීවේය.
මහා භාණ්ඩාගාරයේ මූල්‍ය අර්බුදය, රැකියා දීමට නොහැකිවීම, නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි වීම ගැනත් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය. මෙහිදී අමාත්‍ය උදය ගම්මන්පිල ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ගැනීමේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් යුදගනවි ගිවිසුම පිළිබඳව අමාත්‍යවරුන් දැනුවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හෙට (06දා) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැඳවීමට තීන්දු කළහ. තවද ආර්ථිකය සම්බන්ධයෙන් කතාකිරීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ද කැඳවීමට නියමිතය.
බණ්ඩාරනායකට මල් මාලා
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායකකට මල් මාලා පැලඳවීමේ යෝජනාවක් ඉදිරිපත් විය. ‘‘ඇයි සේනානායකට විතරක්. බණ්ඩාරනායක මහතාටත් මල් මාලා පැලඳිය යුතුයි. 1956 පෙරළියෙන් පසු තමයි නියම නිදහස ලැබුණේ. එම නිසා මල් මාලාවක් දැමිය යුතුයි’’ ඇමැති වාසුදේව නානායක්කාර යෝජනා කළේය. ඊට සියලු දෙනා එඟත්වය පළ කළත් පිළිරුවක් තිබෙන තැනක් සොයා ගන්න වෙයි’’ කියා රැස්වීමේ සිටි නිලධාරියකු කීවේය. ‘‘අපි පිළිරුවක් තිබෙන තැනකට ගිහිල්ලා හරි මල් මාලය දාමු’’ ඇමැතිවරයා යෝජනා කළේය.
දයාසිරි හෙළි කළ රහස
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මධ්‍යම කාරක සභාව ආරම්භයේදී මැතිවරණ ක්‍රමය සහ අයවැය පිළිබඳව අචාර්යවරුන් දේශන දෙකක් පැවැත්වූහ. ‘‘පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අපි රජයට බල කළ යුතුයි’’ මධ්‍යම කාරක සභිකයින් කරුණු ඉදිරිපත් කළේය. පළාත් පාලන ආයතන කාලය ලබන වසරේ අවසන් වුවද ඒවා අකර්මන්‍ය වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ’’ තවත් යෝජනාවක් ඉදිරිපත් විය.
කෙසේ වෙතත් අයවැය විවාදවලදී ජනතාවගේ ප්‍රශ්නවලට මෙන්ම ආණ්ඩුවේ ප්‍රශ්නවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම ප්‍රමාණවත් නොවන බවට චෝදනාවක්ද ඉදිරිපත් විය. චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ‘‘රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් කිසිදු සහනයක් නැහැ. මේ ගැන මන්ත්‍රීවරු කතා කළ යුතුයි’’ වෘත්තිය සමිති නායකයකු වන රෝයිද මෙල් පෙන්වා දුන්නේ දැඩි දෝෂාරෝපණයක්ද එල්ල කරමිනි. හිටපු ජනාධිපතිවරයා පොහොර ප්රශ්නය ගැන කතා කළා. එමගින් ආණ්ඩුවේ අර්බුදය රටට නිවැරදිව පෙනුණා. නමුත් ඔබ සියලු දෙනා කෘෂිකර්ම අමාත්‍යාංශ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දුන්නා. එය වැරැද්දක්.’’ තවත් මධ්‍යම කාරක සභිකයකු කීවේය.
‘‘දැන් මාධ්‍යයේ පළ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලා’‘ තවත් කාරක සභිකයෙකු විමසුවේය. ‘‘අපි දහ හතර දෙනා නෙවෙයි හැට දෙනෙක් එක්ක තමයි එළියට බහින්නේ.’’ අපේ හිටපු ජ්‍යෙෂ්ඨයින්ද ඊට එක් වෙනවා’’ යැයි පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේය. ‘‘පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගන්නවා නම් අපි එළියට බහින්න සූදානම්’’ ඉන්න වුවමනාවක් නැහැ’’ ඇමැති මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීහ. කෙසේ වෙතත් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැයට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී තීන්දු කළහ.
මේ අතර ජ්‍යෙෂ්ඨ සමිති නායකයකු වන තිස්ස දේවේන්ද්‍ර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති කටයුතුවලින් ඉවත්ව පොහොට්ටුවට සහයෝගය දක්වමින් සිටියේය. මෙම මධ්‍යම කාරක සභාවේදී තිස්ස දේවේන්ද්‍ර යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයේය. තවද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරක්ද හිමි කර ගත්තේය. රැස්වීම අවසන්ව පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වටා මාධ්‍යවේදීන් රොක් වූයේ වොයිස් කට් ගැනීමටය. එවිට පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ‘‘වටිනා මිනිසා කවුද කියා මාධ්‍යයටත් දැන් තේරිලා. ඒකනේ වට කර ගන්නේ’’ යනුවෙනි.
මහින්ද එඩිටර් වැඩේ කළ හැටි
මාධ්‍යවේදීන් සඳහා ‘‘ඇසි දිසි සුරක්ෂා රක්ෂණය’’ පිරිනැමීමේ උත්සවය අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. රක්ෂණයක් පිරිනැමීමට මූලික වූයේ කලක් මාධ්‍යවේදියකුද වන වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමය. මෙම උත්සවයේදී අගමැතිවරයා කීවේ චන්ද්‍රිකා ජනපති කාලේ් තමාට රිපොටර් කී බවය.
ඒ කැබිනට් තොරතුරු මාධ්‍යයට දෙන්නේ මහින්ද බව චන්ද්‍රිකා කල්පනා කළ නිසාය. චන්ද්‍රිකා තමාට ඒ කතාව කී විට තමා ඇයට මම රිපෝටර් නෙවෙයි එඩිටර්. මොකද මම තොරතුරු දෙන්නේ කපලා කොටලා බව කීවා අගමැතිවරයා සිනහසෙමින් කීවේය.
චන්ද්‍රිකාගේ ගාලු ගමන
මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගේ ගාල්ලේ පිහිටි නිවසට පැමිණියේය. ‘‘මම ගාල්ලේ එනවා. දවල් කෑමට ඔයාගේ ගෙදර එනවා. මගෙත් එක්ක ගෘහ නිර්මාණ ශිල්පීන්ද ඉන්නවා’’ හිටපු ජනාධිපතිනිය මන්ත්‍රීවරයාට කීවේය. ඒ අනුව කණ්ඩායම මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණියහ. හිටපු ජනාධිපතිනිය සමග හිටපු අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ඥාතියෙකුද සිටීම විශේෂත්වයකි.
චන්ද්‍රිකා ගාල්ලේ පදිංචියට
හිටපු ජනාධිපතිනිය ගාල්ල තල්පේ මුහුද ආශ්‍රිතව ඉඩමක් මිලදී ගෙන නව නිවසක් ඉදි කිරීමට සූදානම් වෙයි. එහි ගෘහ නිර්මාණ කටයුතු සඳහා ඇය මෙම කණ්ඩායම සමග පැමිණ සිටියාය. කෙසේ වෙතත් මෙම පැමිණීම කරලියට පැමිණියේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඡායාරූප සිය ‘‘ඉන්ස්ටර් ග්‍රෑම්’’ එකේ පළ කිරීමත් සමගය.
ලොක්කෙක් අස්වෙන්න හදයි
චන්ද්‍රිකා යුගයේ සිට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියකුට ඇමැති චමල් රාජපක්ෂ මෙම සතියේදී දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි. පොහොර අර්බුදය හා විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන මුදල්වලින් සියයට විසිපහක් රජයට බැරවීම යන කරුණු දෙක පදනම් කර ගනිමින් මෙම දෝෂාරෝපණය එල්ල කර ඇත. කෙසේ වෙතත් මෙම නිලධාරියා ඇතැම් දේශපාලනඥයින්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් කඩිනමින් තනතුරෙන් ඉවත් වන බවයි.
රනිල් – ගෝඨාභය විදෙස් සමුළුවකට
ඉන්දියානු සාගර සමුළුව මෙවර පැවත්වෙන්නේ අබුඩාබි නුවරය. ඉන්දියානු සාගර සමුළුව 2017 වසරේදී ආරම්භ වූ අතර මෙවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඊට සහභාගි වෙයි. ආරම්භක සමුළුවේ සිට ඊට සහභාගි වූ එක්සත් ජාතික ප්කෂ නායක රනිල් වික්රමසිංහද සමුළුවට සහභාගි වීම විශේෂත්වයකි. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ද සමුළුවට එක් වෙයි. මොවුන් තිදෙනාම එකට ගුවන් යානයෙන් සිකුරාදා (03දා) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ජනාධිපතිවරයා සෙනසුරාදා සමුළුව අමතන අතර එක්සත් ජාතික පක්ෂ නායකයා සමුළුව අමතන්නේ හෙට (06දා) උදෑසනය.
කිරි පැණි ඇමැතිවරු
පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු මෙන්ම ඇමැති පෞද්ගලික කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ආණ්ඩු පක්ෂ කාර්යාලය එය සංවිධානය කර තිබුණි. මුලසුන හෙබවූයේ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුය.
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කළ ඇමැතිවරයා කියා සිටියේ ‘‘ඇමැතිතුමාව බේර ගන්න ඔබලා කටයුතු කළ යුතු බවයි. වාහන නිල වශයෙන් කටයුතු කිරීමේ බලය ලැබී ඇත්තේ ඇමැතිතුමා මෙන්ම ආණ්ඩුවට තියෙනතාක් කල් පමණයි.’’ ඇමැතිවරයා කියා සිටියේය. මෙහිදී නැගී සිටි වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පැවැසුවේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයකට වාරිමාර්ගයෙන් යෝජනාවක් ඇති බවයි. මෙම යෝජනාවේ පිළිතුර හදන්න යාමේදී විෂය පථයන් කැබිනට් ඇමැතිවරයාට හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාටම බෙදී ඇති බව ඔහු පැවසුවේය. ‘‘මම කාටද උත්තරය හදලා දෙන්නේ.’’ ඔහු විමසුවද රැස්වීමේ සිටි මැති ඇමතිවරුද නිරුත්තර වූහ.
‘‘ඔයා කැබිනට් ඇමැතිගෙන් අහලා උත්තරය හදලා දෙන්න. සමහර අමාත්‍යාංශවල කැබිනට් ඇමැති හා රාජ්‍ය ඇමැති කිරියි පැණියි වගේ. නැති අමාත්‍යාංශවල අය ප්‍රවේශම් විය යුතුයි’‘ ඇමැති ජොන්ස්ටන් කීවේය.
ගින්දර පුළුන් ඇමැතිලා
සමහර අමාත්‍යාංශවල ඇමැති සහ රාජ්‍ය ඇමැති ගින්දර හා පුළුන් වගේ වහා ගිනි ඇවිළෙන සුළුයි’‘ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කීවේය. ‘‘කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග ගනුදෙනු කරන කොට ප්‍රවේශමෙන්. මොකද ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් කැබිනට් ඇමැතිවරුන්ගේ වැරදි අපෙත් එක්කත් කියනවා’’ ඇමැති ජොන්ස්ටන් කීවේය.
මාසයකට දින අටක් පාර්ලිමේන්තු පවත්වයි. මෙම දිනයන්හි මැති ඇමැතිවරු පාර්ලිමේන්තු නොපැමිණීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරන ලදී. ‘‘මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තු තියෙන දවස්වල උත්සව දාන්න එපා. මටත් ආණ්ඩු පක්ෂයේ සංවිධායක විදියට ඔය වැඩේ අමතක වෙනවා. හෙටත් ජාඇල උත්සවයක් දාලා. මම කරන්නේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට බනින එක. එම නිසා පාර්ලිමේන්තු තිබෙන දවස්වල උත්සව දැම්මාට ඇමැතිතුමා එන්නේ නැහැ. මැති ඇමැතිවරු නොපැමිණීම ගැන ජනාධිපතිතුමාත් මගෙන් ඇහුවා’’ යැයි ඇමැති ජොන්ස්ටන් වැඩිදුරටත් කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අත්දැකීම්ද ඉදිරිපත් කරමින් ඇමැතිවරයා තවත් කරුණු ඉදිරිපත් කළේ නිලධාරීන් කරන වැරදිද පෙන්වමිනි. ‘‘මගේ අමාත්‍යාංශයේ ප්‍රශ්නයකට එක පාරක් වැරදි උත්තරයක් හදලා. මටත් පාර්ලිමේන්තුවේ කියා ගෙන යන කොට තමයි තේරුණේ. එම නිසා ප්‍රශ්නවලට උත්තර හරියට හදන්න ඕනි. තවත් අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට උත්තර දෙන කොට පිළිතුරු කොළය මන්ත්‍රීවරයාගේ අතේ තිබිලා. අපේ මන්ත්‍රීවරයෙක් එය හොරෙන් ෆොටෝ ගහලා මට වට්ස්ඇප් කළා. ඒ ගැන හොයන කොට නිලධාරියාගේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නයට උත්තරය හදපු නිලධාරියා ගෙන්වා කතා කළා. බලනකොට නිලධාරියාගේ බිරිඳගේ එෆ්.බී. එක පරීක්ෂා කළා. එහි නම් රාජපක්ෂලා පතුරු ගහලා තිබුණා. අපට කරුණු වැටහී ගියා. එම නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු මේ දවස්වල කතා කළොත් ‘‘හලෝ බායි හායි කියලා තියන්න’‘ ඇමැති ජොන්ස්ටන් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
උදයජීව