GOSSIP

මම බඩුමිල ගැන කියද්දි ඩලස් ඉන්නෙ කසාය බීපු ගොලුවා වගේ – ප්‍රදීපා ධර්මදාස

ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුමගේ බිරිඳ යන නාමයෙන් හඳුන්වනවාට වඩා ප්‍රදීපා ධර්මදාස යන නම අප කාටත් කවදත් සමීප වන්නේ සහෘද හදවතට කතා කළ කලාකාරිනියක් ලෙසටය. තීරණාත්මක අවස්ථාවන්වල රට වෙනුවෙන් පෙනී සිටිය යුතු තැනදී නොබියව සිය ස්වාධීන මතය ඉදිරිපත් කිරීමට ද ඇය සිය සැමියාගේ දේශපාලනය බාධාවක් කර ගත්තේ නැත. සිය සැමියාගේ ආනුභාවයෙන් ඇය ඉස්සරහට නොගියා සේම ඇමැති ඩලස් අලහප්පෙරුමත් සිය දේශපාලනයට බිරිය කිහිලිකරුවක් කරගත්තේ නැති බව ඔහුට කරන ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය. සිය දේශපාලන භාවිතයේදී බිරිය ගැන කතා නොකළ ඇමැතිවරයා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මුල් වරට බිරිය ගැන කතා කළේය. ඒ ගෙදර ගෑස් ටැංකිය පිපිරෙතැයි සිය බිරියත් බියෙන් සිටින බවය. ඒ කතාව අනුව ගෑස් ටැංකි පිපිරෙන බිය දැනෙන්නේ පොඩි මිනිහාගේ ගෙදරට පමණක් නොවේ. ඇමැතිවරුන්ගේ ගෙදරටත් ඒ බිය ඇතුළු වී තිබේ. ලොකු පොඩි භේදයක් නැතිව දැනෙන මේ බිය නිසා දැන් බොහෝ ගෙවල්වල ප්‍රශ්නය. උයන්නට බෑ කියමින් ගෘහණියෝ සැමියන් සමග රණ්ඩු කර ගනිති. බිරියන්ගේ මේ දුක් අඳෝනාව ඉවසන්න බැරි තැන සැමියන් ගෑස් ටැංකිය එළියට දමා කුස්සි බිත්ති හිල් කර බට දමා ගෑස් ගන්නට සැරසෙති. ඒ අතරේ තවත් පිරිසක් ගෑස් ළිපෙන් ඉවීම නතර කර කඩෙන් කති. දර ළිප් හොයති. අලි මදිවාට කොටි කියන්නා සේ ගෑස් මර බිය අස්සේ එළවළු මිලත් වැඩිය. මේ සියලු කාරණා ප්‍රදීපා ධර්මදාසට බිරියක්, ගෘහණියක්, මවක් ලෙස දැනෙන්නේ කෙසේද? ඒ ගැන ‘සතිඅග’ අරුණ ඇය සමග කතා කළෙමු.

ඔබත් ඇමැති බිරියක්?

මගේ ස්වාමියා අමාත්‍යවරයෙක්. ඒ ගැන මම නිහතමානීව සතුටට පත්වෙනවා වගේම ඔහු ගැන අවංක ආඩම්බරයක් මා සතුයි. නමුත් අමාත්‍ය බිරිඳක් වූ පමණින් කිසි දවසක අමාත්‍ය බිරිඳක් කියන නමටමම බැඳිලා නෑ. මම හැමදාම ප්‍රදීපා ධර්මදාසම තමා. මගේ ජීවන රටාව ඒ විදියම තමයි. හේතුව, මිනිස්සු මාව අඳුන ගත්තේ ප්‍රදීපා ධර්මදාස කියන ගායනවේදිනිය හැටියට. එතකොට මගේ කියන තැන එතැන තමයි.

ඔබ ගෙදරට ඕනෑ කරන එළවළු, තුනපහේ ගන්නේ කොහොමද?

ඉතින් මගේ ජීවිතයේ අනිත් සියලුම ක්‍රියාකාරකම් මම කරන්නේත් මේ රටේ ඉන්න සාමාන්‍ය ගැහැනියක් විදියටම තමයි. මගේ වටේට දැසි දස්සෝ තියාගෙන නෑ. මට වුවමනා බඩුමුට්ටු ආදිය මිලට ගන්න, එළවළු ටික අරගන්න මමත් අනික් අය වගේම කඩපිලට යනවා. ගෙදර උදව්වට සහය වෙන්න මට කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ හිටියා වුණාට ඒ අය මත්තෙම සියලු වැඩ පවරලා අත් බැඳන් බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි මම.

රටේ හැමතැනම ගෑස් පුපුරනවා. ඔබට ඒ ප්‍රශ්නය දැනෙන්නේ කොහොමද?

ඇත්තෙන්ම මේ පහුගිය දවස් ටිකේ ඉඳන් මේ රටේ මේ මහ අමුතු ගෑස් කලබැගෑනියක් සිද්ධ වෙන මේ වෙලාවේත් මේ රටේ ජීවත් වෙන ගැහැනු අතරේ ඉන්න තවත් එක ගැහැනියක් හැටියට මගේ හිතටත් ඒ බිය සංකා ඇති වුණා. එහෙම මට දැනෙන්නේ මොකද මමත් කුස්සියට ගිහින් ළිප මොලවන ගැහැනියක් නිසා.

කලා ශිල්පිනියක් හැටියට ඔබ පෙනී සිටින ඔය සාමාන්‍ය ජීවිතය තුළදී ඔබට ලැබෙන ආදායමින් දේවල් සරිකරගන්න පුළුවන්ද?

ඇත්තටම ඇත්ත කතාව කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2020 මම ආවේ මරියා විද්‍යාලයේ ප්‍රසංගයක ගීත ගායනා කළා. එදායින් පසු අද ඔබ මේ කතා කරන දවස වෙන තෙක්ම මට ප්‍රසංගයකට ගීත ගායනා කරන්න අවස්ථාවක් උදාවුණේ නෑ. ඒකට මේ ලෝකයටම බලපෑව වසංගත තත්ත්වය මූලිකව හේතුවක් වුණු බවත් මම කිව යුතුයි. හැබැයි නමුත්, මම මට ලැබෙන දෙයින්, මට පුළුවන් උපරිමයෙන් දේවල් කළමනාකරණය කරගන්නා කෙනෙක්. මගේ ගෙදර යැපෙන්නේ මගේම දෙයින් කියලා නෙවෙයි මම මේ කියන්නේ. මගේ ස්වාමියාගේ වැටුපත් අපේ පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් උපරිමයෙන් දායක වෙනවා. ඒ අතරේ මමත් මගේ ශක්ති ප්‍රමාණයෙන් පවුල වෙනුවෙන් මගේ වටිනාකමත් ඊට එකතු කරනවා.

දෙදහස් දහනවය වසරේ ජනාධිතිවරණය වෙනුවෙන් කලාකාරිනියක් හැටියට ඔබත්, ඔබේ මතය ජනගත කිරීම වෙනුවෙන් වේදිකා ගත වුණා. ඔබලා සියලු දෙනා එදා වේදිකාවේ ගායනා කළ ඒ ගීතය අදත් සෑම තැනම නිරතුරුවම ප්‍රචාරය වෙනවා. එදා ඔබලා ගායනා කළ ඒ දේවල් අද ඇහෙනකොට, දකිනකොට ඔබට මොකද හිතෙන්නේ?

මෙහෙමයි, දැන් මට එතැනින් මිදෙන්න බෑනේ. මම එහෙම ගායනා කළේ නැහැයි කියලා. නමුත කලා ශිල්පිනියක් හැටියට මම පළවෙනියටම දේශපාලන වේදිකාවකට ගොඩවුණේ 1994 දී. මා ඇතුළු කලා ශිල්පීන් පිරිසක් එදා ඒ වේදිකාවට ගොඩවුණා. වසර 17 ක් තිස්සේ මේ රට ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටී තිබුණු පරිසරයක, එයින් බැට කාපු කලා ශිල්පිනියක් හැටියට මම එදා තමයි ප්‍රථම වතාවට දේශපාලන වේදිකාවට ගොඩවුණේ. ඉන්පසුව දේශපාලන වේදිකාවට ගීතයකින් මම දායක වුණේ ඔබ කිව්ව 2019 වර්ෂයේදීයි. එතැනදී අනේ මම එහෙම ගායනා කළේ නෑ කියලා දැන් කියන්න මට අවශ්‍යතාවක් නෑ. අපි එදා මේ රටේ යහපත වෙනුවෙන් මේ නායකයා තෝරාගත්තේ බලාපොරොත්තුවක් ඇතුවයි. අපි අදටත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ රට යම්කිසි හෝ හොඳ තැනකට ගමන් කරයි කියලා. දැන් මේ දවස්වල මම දකිනවා සමාජ මාධ්‍යවල අපි කරපු ඒ ගායනාව ප්‍රධාන මාතෘකාවක් හැටියට පත්කරලා විවිධාකාරයේ චෝදනා, අපවාද, අපහාස එල්ල කරනවා. සුළුවට නෙමෙයි තදබල විදියටම සිද්ධ වෙනවා.

ඔබ දේශපාලනය කළේ වාසි ප්‍රයෝජන තකාද?

එකක් මම කිව යුතුයි. හැම කෙනෙක්ම මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි වගේ දේශපාලනයට දායක වෙන බොහෝ දෙනෙක් එහෙම කරන්නේ තම තමන්ගේ පෞද්ගලික වාසි ගැන බලාපොරොත්තුවෙන් බව නොරහසක්. නමුත් මම වගකීමෙන් කියනවා කිසිම දවසක මම දේශපාලන වශයෙන් කිසිම අයුරකින් අබමල් රේණුවකවත් වාසියක් මම ලබාගෙන නෑ. මමවත්, මගේ දරුවෝ දෙන්නාවත්, මගේ පවුලේ සහෝදර සහෝදරියන්වත් කිසිම කෙනෙක් දේශපාලන වාසි ලබලා නෑ. එහෙම ලබාගැනීමේ බලාපොරොත්තුවකුත් නෑ. මගේ දරුවන්වත් මේ දේශපාලනයට එන්නේ නෑ. ඩලස් අලහප්පෙරුම පටන් ගත්තු දේශපාලනය ඩලස් අලහප්පෙරුම අවසන් කරන තැනින් අවසන්. ඉතින් ඒ නිසා මම ඔය කියන ගායනාවට එදා දේශපාලන වේදිකාවට නැග්ගේ ‘රට වෙනුවෙන්’ කියන සිතුවිල්ලෙන් පමණක් බව කිව යුතුයි.

දැන් මම එහෙම කළැයි කියලා අද මම ඒ ගැන කනගාටුවෙනවා, දුක්වෙනවා වාගේ දේවල් මම කියන්නේ නෑ. ඒ වගේ කතන්දර මම කියන්නේ නෑ. තවත් මම නම් හිතනවා, බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඕනේම මිනිහෙකුට තමන් අතින් සිද්ධ වුණු වැරදි නිවරැදි කරගන්න පුළුවන් වාගේ අපේ රටේ මහජනතාවගේ පැත්තේ ඉඳගෙන මමත් බලන් ඉන්නවා හොඳ තත්ත්වයක් උදාවෙයි කියලා සුබවාදීව. හැබැයි දේශපාලකයෙක්ගේ බිරිඳක් හැටියට මේ රටේ දේශපාලනය විසින් මිනිස්සුන්ට කරන අසාධාරණ දේවල්වලදී මම දේශපාලකයෙක්ගේ බිරිඳක් කියන එක මට අදාළ වෙන්නේ නෑ. එතනදී මම මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නේ.

අද මේ රටේ සාමාන්‍ය පඩියකින් මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

නෑ නෑ, ඒ සම්බන්ධයෙන් මම හරිම කනගාටු වෙනවා. අද අමාත්‍යවරයකුගේ බිරිඳක්නේ මම. එතකොට මමත් එහෙම කියනවා නම් අනික් අය ගැන කවර කතාද? මොකද මම ජීවත් වෙන්නේ මගේ පෞද්ගලික නිවසේ. අමාත්‍යවරුන්ට ලැබෙන නිල නිවාසයකටවත් මම ගියේ නෑ. මගේ පෞද්ගලික නිවසේ මම ගෙවන බිල් පවා මගේ අතින් ගෙවාගෙන තමයි මම ජීවත් වෙන්නේ. මට හරිම පුදුම කනගාටුවක් දැනෙනවා මේක කියන්නත්. ඇත්තටම මේ රටේ මිනිස්සු කනවා නෙවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු මේකෙදි හොඳටම පීඩාවට පත්වෙනවා. දැන් අන්ත දුගී මිනිහෙක්ට ගිහින් ඇති හැකි කෙනෙක් ළඟ අතපාන්ඩ හරි පුළුවන්. මධ්‍යම පාන්තික මිනිස්සු ඇත්තටම පුලන්නෝ වගේ ජීවත් වෙන්නේ. දෙපැත්තෙන්ම තැළෙනවා. ඉතින් මම කියන්නේ මේ රටේ මේ මිනිස්සු මේ ගෙවන්නේ ඉතාමත්ම ශෝචනීය කාල පරිච්ඡේදයක්. බඩු මිලත්, අනෙකුත් ප්‍රශ්නත් එකට එක ඉහළ යනවා මිසක් අඩුවීමක් නෑ.

මේ බඩු මිල ඉහළ යන විදියට මිනිස්සු කාලා, බීලා ඉන්නේ කොහොමද කියන එක හිතාගන්නවත් බැරි තරම්. මං හිතන්නේ නෑ අද සාමාන්‍ය මධ්‍යම පාන්තික කියන පවුලකවත් වේල් තුනක් ගෙදර ඉදෙනවා කියලා. ​වේල් දෙකක් විතරවත් කාලා ඉන්නවා කියන එක පුදුමයක් ඇත්තටම! ඉතින් මම මේ, මෙහෙම කතා කරන්නේ මමත් පොළේ ගහින් බඩු ගෙන මේ රටේ තවත් ගැහැනියක් කියන තැන ඉඳලා. එහෙම ඉඳගෙන ඇත්තටම ඒ අත්දැකීම විඳලා තමයි මම මේ කතා කරන්නේ. මම ඇත්තටම මේ යන තත්ත්වය පිළිබඳව අවංකවම මට පුදුමුකාර දුකක් සහ කනගාටුවක් තියෙනවා. හැබැයි අපි එකක් පිළිගන්න ඕනේ. දැන් මේ කොවිඩ් වසංගතය කියන ව්‍යසනය මුළු ලෝකෙටම බලපෑවා. ලෝකයේ සියලුම රටවල ආර්ථිකය කඩාගෙන වැටුණා. අපිටත් ඒ බලපෑමට මුහුණ පාන්න සිද්ධ වුණා.

එතකොට කොරෝනා නිසාමද 2019 සිට මෙතුවක් කලක් මේ රටට මේ සේරම වුණේ?

නෑ නෑ, මම කියන්න ගියෙත් අන්න ඕකම තමයි. අපේ රටේ පාලකයෝ විසින් සමහර තීන්දු තීරණ ගැනීමේදී ඒවා පිළිබඳව නිවැරැදිවීමට තිබුණා කියන අදහසේ මම ඉන්නවා.

දැන් ඔබ ඔය ගැන ඇමැතිතුමා එක්ක කියනකොට ඇමැතිතුමා මොකද කියන්නේ?

ඇත්තම කියනවා නං, දැන් සමහර වෙලාවලදී ඔහු අර කසාය බීපු ගොළුවා වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ දැන් සමහර දේවල් පිළිබඳව මම ඉතාම තදබල වේදනාවෙන් විවේචනය කරනකොට ඔහු ඉන්නේ කසාය බීපු ගොළුවා වාගේ. ඔව්! එහෙම තමයි ඉන්නේ. ඒ වගේ වෙලාවට ඔහු ඉතාම කාර්යබහුල ගතියක් මට පෙන්නුම් කරලා පැත්තකට වෙනවා.

අනුපමා ගල්කඩවල