NEWS

ආණ්ඩු හැදුවට ආණ්ඩු රකින්න මාධ්‍යවලට බැහැ

ආණ්ඩු බලයට ගෙන ඒමට මාධ්‍යයට හැකි වුවත් ආණ්ඩු රැකීමට මාධ්‍යයට හැකියාවක් නැතැයි ද ආණ්ඩු රැකගත හැක්කේ ආණ්ඩු කරන්නන්ට පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ පැවැසීය.

ඒ බව මාධ්‍ය තේරුම් ගෙන ඇතත් ආණ්ඩු කරන අය තේරුම් ගෙන නැති බවක් තමන්ට හැඟෙන්නේ යැයි ද අගමැතිවරයා සඳහන් කළේය

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍යවේදීන්ට පිරිනමනු ලබන ‘ඇසිදිසි රක්ෂණාවරණ’ පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (02 වැනිදා) පැවැති සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මාධ්‍ය ආණ්ඩු රකින්න ගියොත් මාධ්‍යයට මීට වඩා ලොකු රක්ෂණයක් ලබා දීමට සිදු වනු ඇතැයි කී අගමැතිවරයා ‘‘මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි මාධ්‍යයට ශක්තියක් වුණොත් මාධ්‍ය අපි ශක්තිමත් කරනවා. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. මාධ්‍යයට යමක් හංගන්න හංගන්න රටේ ජනතාව ඒ ගැන තියෙන උනන්දුව වැඩියි. හංගන්න හංගන්න හැදෙන බොරු කතා වැඩියි.’’ යනුවෙන් ද පැවැසීය.
‘‘මේ රටේ මාධ්‍යවේදීන් තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදිහට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි ද කී අගමැතිවරයා යුද්ධ කරන කාලේ පටන්ම ඒ අත්දැකීම් තිබෙන බවත් මාධ්‍යවල පෙන්වන දේවල්ම යොදාගෙන මේ රටේ කීර්තිනාමය විනාශ කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය