NEWS

ජනවර්ග මත පදනම් වූ නීති දිගටම ක්‍රියාත්මකයි – මුස්ලිම් රටවල්වලට ආණ්ඩුව පොරොන්දු වෙයි

ශ්‍රී ලංකාව විසින් මුස්ලිම් නීතිය, උඩරට නීතිය සහ දෙමළ ප්‍රජාවන්ට විශේෂිත වූ පුද්ගලික නීති අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදේශ ඇමැති ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යවල දූත මණ්ඩල ප්‍රධානීන්ට ප්‍රකාශ කර තිබේ. විදේශ ඇමැති ජී.එල්. පීරිස් පසුගිය නොවැම්බර් 30 වැනි දින ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉස්ලාමීය රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු හමුවූ අතර එහිදී ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතීතයේ මෙන්ම මෑත

කාලීන දේශපාලනික හා සමාජීය ජීවිතය තුළ ඉටු කරන ලද ඵලදායී කාර්යභාරය පිළිබඳව ඇමැතිවරයා ඉස්ලාමීය නියෝජිතයන් සමග අදහස් හුවමාරු කර ගෙන තිබේ.

සෑම ආගමක, ජන වර්ගයක හෝ ජාතියක සෑම පුද්ගලයෙකුටම කිසිදු භේදයකින් තොරව තම ආගම, සංස්කෘතිය සහ භාෂාව ප්‍රගුණ කරමින් තම අනන්‍යතාව ප්‍රකාශ කිරීමේ නිදහස භුක්ති විඳීමට හැකි සමාජයක් ලෙස ශ්‍රී ලංකාව සිය සාරවත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කරන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

එසේම මෑත වසරවල දී, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම, විවිධ ආගම්වල නාමයෙන් අන්තවාදී කණ්ඩායම් මෙම සමාජ සංහිඳියාවට බාධා පැමිණවීමට සහ නවීන සන්නිවේදන තාක්‍ෂණය අනිසි ලෙස භාවිත කරමින් සහ සමාජ මාධ්‍ය වෙත අනවසර ප්‍රවේශ ඇතුළුව ලෙස ප්‍රවේශ වී ශ්‍රී ලංකාව තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට උත්සාහ කළ බවද ඇමැතිවරයා පෙන්වාදී තිබේ. එවැනි වෛරී සහගත ප්‍රකාශ මැඬලීම සඳහා, දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායකමය කටයුතු පිළිබඳව ද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.