GOSSIP

“මට කිව්වා අක්කේ සලාද කොල කාලා සුදු වෙලා එන්න කියලා ” කුට්ටිආරච්චිට ගීතාගෙනුත් චෝදනාවක්

පාර්ලිමේන්තුවේ ඇත්ත කතා කරන අයට තර්ජනයක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පැවසුවාය.

රෝහිනී විජේරත්න මන්ත්‍රීවරියට අපහාසාත්මක අයුරින් පාර්ලිමේන්තුවේ දී කතා කළ මන්ත්‍රීවරයා පිටුපස කිසිවෙක් සිටින බවත් එම මන්ත්‍රීවරයා බළල් අතක් බවට පත්ව සිටින බවත් ඇය කීවාය.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ කොළඹ, නාරාහේන්පිට පිහිටි ඇයගේ නිවසේ ඊයේ (01 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.

මන්ත්‍රීවරයා කාගේ බළල් අතක් ද යන්න ගැන ඉඟි කළ නොහැකි යැයි කී ඇය පාර්ලිමේන්තුවේ දී එම අපහාසාත්මක ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා කළේ වැරැද්දක් බවත් එම සිද්ධියට පෙර එම මන්ත්‍රීවරයා තමන්ට ද අපහාස කළ බවත් කීවාය.

‘‘මම පාර්ලිමේන්තුවේ දී දිවා ආහාරය බෙදා ගනිමින් සිටින තැනට මේ මන්ත්‍රීවරයා ආවා. මම ඒ වෙලාවේ සලාද කොළ බෙදා ගනිමිනි හිටියේ. ආ… අක්කා සලාද කොළ කාලා සුදු වෙලා එන්නකෝ… කියලා මට කිව්වා. එහෙම කියන එක කොච්චර වැරදිද?

ස්විට්සර්ලන්තයේදී මම කාපුවා මේ මන්ත්‍රීවරයා දැකලවත් නැතුව ඇති’’ යැයි ද ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
‘‘කතා කරන අයට ගහන්න ඕනෑ කියන වුවමනාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එසේ නොමැති නම් ඔය විදියට ‘ගට්ස්‘ අරගෙන කෑගහන්න බැහැනේ. තෝරා බේරා ගත් අයට විතරක්නෙ ගහන්නේ. අපිව බය කරන්නයි මේ උත්සාහ කරන්නේ. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට තේරුණු මම කාට ද බය වෙන්නේ’’ යනුවෙන් ප්‍රශ්න කර සිටි මන්ත්‍රීවරිය සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ලෙස මන්ත්‍රීවරයා පෞද්ගලිකව හමු වී පැවසූ නමුත් එය ඉටු නොවූ බව ද ප්‍රකාශ කළාය.

‘‘කාන්තාව අපහසුතාවට පත් කීරීම එදත් අදත් හෙටත් තියෙනවා. කාන්තාව අපහසුතාවට පත් කිරීම ඒ අයට ත්‍රිල් එකක්. ඒකනේ හිනා වෙන්නේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂය අපහාස කළ ආකාරය අමතක නැහැ’’.
ඇමැති ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ දැයි මාධ්‍ය වේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරිය ‘‘රැස්වීම් පහ හයක් කතා කළ අයට රාජ්‍ය ඇමැතිධුර ලබා දීලා. මම වසර දොළහක් දේශපාලනය කළා. මම පොහොට්ටුවේ පළමු සාමාජිකයන්ගෙන් කෙනෙක්. ඉතින් එහෙම කළ මට කර තිබෙන දේ සාධාරණයිද?’’ යනුවෙන් ප්‍රශ්න කර සිටියාය.

“ඇමැතිධුරයක් ලැබුණොත් ෂෝක්නෙ’’ යනුවෙන් කීවාය..

ඇමැතිධුරයක් තමන්ට නොදෙන්නේ ඇයි ද යන්න තමන් දන්නා බවත් නියම වෙලාවට තමන් එය ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.