NEWS

අද 4.15 න් පසුව විදුලිය බිඳ වැටුනොත් නැවත හදනු නොලැබේ

දිවයින පුරා ප්‍රදේශ ගණනාවක පසුගිය 29 වැනි දින සිදුවූ හදිසි විදුලිය බිද වැටීමට තම සංගමයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති වුවද අද [ 02වැනිදා ] දිනයේ සවස 4.15 න් පසු මෙරට සිදුවන කිසිදු විදුලිය බිඳවැටීමක් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පැවසුවේ කිසිදු ඉංජිනේරුවකු නැවතත් සවස 4.15න් පසු හදිසි සේවයට වාර්තා නොකරන බවය.

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට විදුලිය විසන්දි වීමක් සිදුකළ නොහැකි නිසා තවදුරටත් සාමාන්‍ය රාජකාරිය සඳහා හෝ ඉංජිනේරුවන් සේවයට වාර්තා කළත් මේ වන විට රජය කටයුතු කරන්නේ ඔවුන්ගේ ඉවසීමේ සීමාව බොහෝ ඉක්මවා බව ඔහු පැවසුවේය. ලංකා විදුලි බල මණ්ඩලයේ ඊයේ [ 01 වැනදා ] පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සභාපතිවරයා මෙලෙස පැවසුවේය.

තවදුරටත් තම ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව ප්‍රමාද වන්නේ නම් සියලුම මෙහෙයුම් කටයුතු වලින් සහ වාර සේවාවන් වලින්ද ඉවත්වන බව ඔහු පැවැසීය. එවිට එක රැයකින් රටම අඳුරු වීම රජයට කිසිසේත්ම වැළැක්විය නොහැකි බව හෙතම පවසා සිටියේය.
පසුගියදා විදුලිය බිඳ වැටීමේ සිදුවීම තම සංගමයේ කඩාකප්පල් ක්‍රියාවක් බවට ඇතැම් පිරිස් පැවසුවත් එම විදුලිය බිඳ වැටීම පැය එකහමාරක කාලයක් ඇතුළත යථා තත්ත්වයට පත්කළේද තම සංගමයේ ඉංජිනේරුවන් බව හෙතම පැවසුවේය.

ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා සිදුවූයේ කුමක්දැයි අවශ්‍ය පුද්ගලයන්ට සොයාගැනීමට
හැකියාව ඇති බව ඔහු මෙහිදී පවසා සිටියේය. සංගමයේ ඉංජිනේරුවන් 829 දෙනාම සේවයෙන් බැහැර වුවහොත් එකවරම රටම අඳුරු කළ හැකි බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දුන්නේ ඒ අනුව පසුගිය 25 වැනිදා සිට සියලුම ඉංජිනේරුවන් උදෑසන 8.30 සිට සවස 4.15 වන තෙක් පමණක් සේවයට වාර්තා කරමින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට කටයුතු කළත් එම කාලයේදී හදිසි බිඳවැටීම් යථාතත්වයට පත් කිරීමට ඔවුන් සහභාගී වූ බවය. නමුත් අද දිනයෙන් පසු එම රාජකාරියටද ඔවුන් වාර්තා නොකරන බව ඔහු කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට අනුව මේ වන විට ආයතනයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනාද කිසිදු දැන්වීමකින් තොරව අනිවාර්ය නිවාඩු යවා ඇති බව සභාපතිවරයා පවසා සිටියේය. ආයතනයේ සිටින ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ආකාරයට අනිවාර්ය නිවාඩු යවන්නේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග ආණ්ඩුව ඇතිකරගෙන ඇති නිත්‍යානුකුල නොවන ගිවිසුම අහෝසි කරගත යුතුයි යන මතයේ සිටින නිසා බව ඔහු පැවසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මේ වන විට පවතින්නේ කැලෑ නීතිය බැවින් අවංක නිලධාරීන්ට එහි සේවය කිරීමට අවස්ථාව ලබා නොදෙන බව හෙතම පැවසුවේය. තවදුරටත් සිදුවන්නේ එම ආසාධාරණය නම් මහජනතාවට කෙතරම් අපහසුතාවයට පත් වුවද රටේ බලශක්ති සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීමේ අරමුණින් තම ඉල්ලීම්වලට පිළිතුරු ලැබෙන තුරු විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් දැඩිව වෘත්තීය සමිති අරගලයේ යෙදෙන බව සෞම්‍ය කුමාරවඩු වැඩිදුරටත් අවධාරණය කළේය.