NEWS

අසූවේ පාන් ගෙඩිය 100 ට විකුණුවට කමක් නැද්ද ?බේකරි හිමියෝ අසති

සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පාන් රාත්තලක මිල ඊයේ (28 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ දමා ඇත. ඒ අනුව රුපියල් 70 කට අලෙවි කෙරුණු පාන් රාත්තලක නව මිල රුපියල් 80 කි. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ග්‍රෑම් 400ක් බරැති පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ ගොස් තිබේ.

අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද පාරිභෝගික ජනතාවට අපහසුවක් නොවන පරිදි රුපියල් 5 ත් 10 ත් අතර මිලකින් වැඩි කරන ලෙසද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටී.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා තිරිඟු පිටි කිලෝවක මිල තිරිඟු පිටි සමාගම් විසින් පෙරේදා (27 වැනිදා) සිට රුපියල් 18.50 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවැසුවේය.

ඒ අනුව,පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කටයුතු සඳහා තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 118ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී ඊයේ (28 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. මෙම මාධ්‍ය හමුව සඳහා එම සංගමයේ උප සභාපති රියන්සි විතානගේ,භාණ්ඩාගාරික මහින්ද රණසිංහ ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

මීට මාසයකට පෙරදීද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ ගිය බවත්, ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මාසයක කාලයක් තුළදී තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 28.50 කින් ඉහළ ගොස් තිබෙන බවද සභාපතිවරයා කීවේය.

ඒ අනුව,තිරිඟු පිටි මිල සියයට 41 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

රට තුළ තිරිඟු පිටි උග්‍ර හිඟයක් පවතින බවත්, තිරිඟු ඇට ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම තිරිඟු පිටි හිඟයට හේතුවී තිබෙන බවද ඔහු පැවැසීය.

තිරිඟු පිටි වර්ග රැසක කිලෝවක මිල රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.

තිරිඟු පිටි හිඟය නිසා බේකරිවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑමට සිදුවන්නේ සතියකට දින පහක කාලයක් පමණක් බවත්, පාන් මිල ඉහළ නොදැමුවහොත් බේකරි වැසීමට සිදුවන බවත්, තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා බේකරි හිමියාට සිදුවන පාඩුව පිරිමසා ගැනීමට නම් පාන් රාත්තලක් රුපියල් 100 කටවත් අලෙවි කළ යුතු යැයිද සභාපතිවරයා කියයි.

බේකරි නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා ජලය හැර අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙන බවද ඔහු කීවේය.

මීට පෙරදී තිරිඟු පිටි නිෂ්පාදනය සඳහා තිරිඟු ඇට ඇමෙරිකාව, කැනඩාව ආදී රටවලින් ආනයනය කරනු ලැබූවත්, ඩොලර් ගැටලුව නිසා තිරිඟු ඇට චීනය, රුසියාව, බංග්ලාදේශය, ඉන්දියාව ආදී රටවල්වලින් ආනයනය කරන බවද මේ නිසා තිරිඟු පිටිවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටලු පවතින බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.