NEWS

කෑම පැයේදී කෑම නොකා අද රාජ්‍ය සේවකයින් කරන්න යන දේ

ජීවන වියදමට සරිලන ලෙස රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් සමස්ත රාජ්‍ය සේවකයන් අද (29වැනිදා) දහවල් කෑම පැයේදී රාජ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙන බව රාජ්‍ය සේවක වැටුප් වැඩි කරගැනීමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරින්, කළමනාකරණ සේවා, සියලුම ක්ෂේත්‍ර නිලධාරින්, තැපැල්, දුම්රිය ඇතුළු සමිති 34ක් අද දිනයේ මෙම උද්ඝෝෂණය සඳහා සහභාගි වන බව එකමුතුවේ නියෝජිත, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ ‘අරුණ’ට පැවැසුවේය.

අද දිනයෙන් ආරම්භ වන මෙම විරෝධතාව ජයග්‍රහණයෙන් මිස අවසන් නොවන බවත් රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ආණ්ඩුවට හොඳින්ම දැනෙන්නේ මෙවර බව හෙතෙම ප්‍රකාශ කළේය. මෙම විරෝධතාවෙන් පසුවද තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් දෙසැම්බර් 6 වැනිදා සියලුම රාජ්‍ය සේවකයන් එක්ව දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඔහු පැවැසුවේය.

විශ්‍රාම යාමේ කාල සීමාව වයස් සීමාව අවුරුදු 65 කිරීමේ තීරණය හකුළා ගැනීම, රාජ්‍ය සේවකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීම සහ රාජ්‍ය සේවකයන් රටට බරක් බවට සිදුකරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණයේ යෙදෙන බව ඔහු පවසා සිටියේය.