NEWS

රටපුරා කුඹුරු අක්කර ලක්ෂයකට හානි

අයහපත් කාලගුණික තත්ත්වය මත කුඹුරු ඉඩම් හෙක්ටයාර් හැත්තෑපන්දහසත් – ලක්ෂයත් (75,000 – 100,000) අතර ප්‍රමාණයකට දළ වශයෙන් හානිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (15 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

වැඩිම හානියක් සිදුව ඇත්තේ පුත්තලම,අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල කුඹුරු වගාවටය. දකුණු පළාතේද හෙක්ටයාර් 300ක පමණ වී වගා ඉඩම්වලට හානිවී ඇත.

මීට අමතරව,එළවළු වගා බිම් හෙක්ටයාර් 7000 කින් සැලකියයුතු ප්‍රමාණයකටද හානිවී ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

අයහපත් කාලගුණය හේතුවෙන් වගා හානිවූ ගොවීන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තද සිල්වා,ගොවිජන සංවර්ධන කොමසාරිස්,කෘෂි රක්ෂණ මණ්ඩලයේ නියෝජිතයන් සහ දිවයිනේ සියලුම නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්වරු සමග මෙම සාකච්ඡාව පැවැත්විණි.

ගංවතුරට යටවූ බිම් කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් පූර්ණ පරීක්ෂාවකට ලක්කර සම්පූර්ණයෙන්ම හානි වූ කුඹුරු ඉඩම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ගෙවන බවත්,වගා හානි වූ එළවළු සහ අනෙකුත් බෝග සඳහා බීජ සහ පොහොර රජයෙන් ලබාදී නැවත වගා කිරීමට අවස්ථාව සලසන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම හානි වූ කුඹුරු ඉඩම් වල නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබාදීමට අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඇමැතිවරයා දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම හානි තක්සේරු කර සහන ලබාදීමට පියවර ගන්නා ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට කෘෂි ඇමැතිවරයා කටයුතු කර තිබේ.

ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින නිසා හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් ඇමැතිවරයාට මෙම සාකච්ඡාවේදී දැනුම් දුන්නේය.

කුඹුරු ඉඩමක් සම්පූර්ණයෙන්ම හානි තත්ත්වයට පත් වුවහොත් අක්කරයකට රුපියල් හතළිස් දහසක උපරිම වන්දි මුදලක් ගෙවන බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතීඥ ප්‍රේමචන්ද්‍ර ඈපා පැවසීය. ගොයම් කැපීමට සති දෙකකට ආසන්න කාලයක කුඹුරු ඉඩම් වලට හානි වුවහොත් මෙම වන්දි මුදල ගෙවන බවද ඔහු කීවේය.

වී වගාව අරඹා මාසයක් වැනි කාලයකදී යම් හානියක් වුවහොත් රුපියල් 10,000 ත් 15,000 ත් අතර මුදලක් ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ගෙවන බවත්, ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බිත්තර වී සහ පොහොර නොමිලේ ලබාදෙන බවත් සභාපතිවරයා සඳහන් කරයි.