NEWS

88-89 දී වූ සිදුවීම් ගැන ජවිපෙ සමාව අයදියි

ජනතා විමුක්ති පෙරමුණ අතින් සිදුනොවිය යුතු දේ අසූ අට, අසූ නවය කාලයේදී සිදුවූ බව කනගාටුවෙන් යුතුව පිළිගන්නා බව එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙරේදා (13 වැනිදා) පැවැති ඉල්මහ විරු සමරුවේදී පැවැසුවේය.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඉල්මහ විරු සමරුව බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී පැවැත්විනි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධමය දේශපාලන දිශාවකට පක්ෂය එදා තල්ලු වූ බව ද එය සතුරා විසින් තල්ලු කළ මාවත මිස පක්ෂය විසින් තෝරාගත් මාවත නොවන බවද ඔහු පැවැසුවේය.

“මව්බිමේ නිදහස, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ සාතිශය බහුතර ජනතාවකගේ ආර්ථික පීඩනයට විරුද්ධව අපි ඒ මාවත තෝරා ගත්තා. සන්නද්ධ ගැටුමක් සිද්ධ වුණේ ඒ විදිහට. සන්නද්ධ ගැටුමක් කියන්නේ සුන්දර සිහිනයක් නොවෙයි. අපි පිළිගන්නවා, ඒ තුළ තිබෙන සාධනීය දේ ඉතා හොඳින් උකහාගෙන නිෂේධනීය දේ ප්‍රතික්‍ෂේප කරමින් ඉදිරියට යන්න අපි සූදානම්. ගතවූ දශක දෙකේ අප මැනවින් ඔප්පු කළා 88/89 අරගලයේ දී සාධනීය දේ උකහා ගන්නත් නිෂේධනීය දේ බැහැර කරන්නත් කටයුතු කළ බව. එදා ඒ අරගලයේ තිබුණු අරමුණ අප අත්හරින්නේ නැහැ. ඒත් අපේ මාවත එදාට වඩා වෙනස්. සන්නද්ධ අරගලය ඒ මාවතේ ප්‍රධානම මෙවලම නොවන බව අප අද වටහාගෙන සිටිනවා.