NEWS

තනතුරු දී මගේ කට වහන්න බැහැ.මේක පතෝල අය වැයක්

තනතුරු නෙවෙයි මුළු ලංකාවම මට භාරදෙනවා කිව්වත් මගේ කටවහන්න කිසිකෙනෙකුට බෑ. මේ අයවැය තනිකරම පතෝල අයවැයක්’’ යැයි නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

වසර දෙකක් යන්නට මත්තෙන්ම ජනතාවට මෙම ආණ්ඩුව පිළිබඳව ඇත්තේ විශාල කළකිරීමක් බවත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ජනතාවගෙන් ගුටි කෑමට සිදුවන දවස වැඩි ඈතක නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

ඒ හිමියෝ මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. එදාවේල සොයාගෙන කන අහිංසක ජනතාවට මෙම අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නොමැති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ආනන්ද හිමියෝ කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර සීනි කැටයේ සිට සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමා තිබූ බවය. එමෙන්ම ජනතාවට භාණ්ඩ ලබාගැනීමට පෝලිමේ සිටින්නට සිදු වූ බව ද උන්වහන්සේ පැවසුහ. වත්මන් පාලනය යටතේ නැවතත් සිරිමාවෝ යුගයේ තිබූ පෝලිම් යුගයට රට ගෙන ගොස් ඇති බවද ඒ හිමියෝ අවධාරණය කළහ.

ගම සමග පිළිසඳරක් වැඩසටහන සිදුකරමින් නැවත වතාවක් ගමක් ගමක් ගානේ යාමට ආණ්ඩුවේ පාර්ශ්වයන්ට නොහැකි වනු ඇති බව නිසැක බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති. මෙවර ඉදිරිපත් කළ අයවැය නිසියාකාරව ක්‍රියාත්මක නොවුණොත් අවුරුදු දෙකක් යන්නට පෙර එපා වුණු ආණ්ඩුව තව තවත් ජනතාවට එපා වෙන බව උන්වහන්සේ මෙහිදී පැවසුහ.

මෙරට සිටින්නේ බුද්ධිමත් ජනතාවක්. ඔවුන් මෙම ආණ්ඩුව පිළිබඳව ඉදිරි මැතිවරණයේදී තීරණයක් ගනු ඇති යැයි කී ආනන්ද හිමියෝ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා කාබනික පොහොර සම්බන්ධව ගත් තීරණයෙහි නරකක් නොදකින නමුත් මෙරට පස හුරු වෙලා තිබෙන පොහොර එකවර ඉවත් කිරීම නිසා අවසානයේ තිරිඟු ඇටය පවා අහිමි වන තත්ත්වයට රට පත්ව ඇති බවය. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 65 දක්වා දීර්ඝ කිරීමෙන් ඔප්පු වන්නේ නවකයන්ට රාජ්‍ය සේවයට පැමිණීමට තිබෙන ඉඩකඩ තව තවත් කල් යාම බව යැයි කීහ.

අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට තව තවත් ප්‍රතිපාදන ලබා දිය යුතු අතර මෙම අයවැයෙන් එය සිදු වී නැති බවද මන්ත්‍රීවරු ඡන්දෙට පෙර ජනතාවත් සමග එක කොලේ බෙදාගෙන කන නමුත් ජයග්‍රහණය කළ පසු ජනතාවට කොලේ දීලා ඔවුන් සුර සැප විඳින බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.