GOSSIP

ජනපති කියූ කතාවට අගමැති මහින්ද ,නාමල් දෙස බලා සිනාසුන හේතුව මෙන්න

නිදහස් ශ්‍රී ලංකාවේ හැත්තෑ හය වන අය වැය පාර්ලිමේන්තුවට (පෙරේදා 12) ඉදිරිපත් වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය බිඳ වැටී ඇති මොහොතකය. මෙම අයවැය වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැයය. පළමු අයවැය ඉදිරිපත් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස කටයුතු කළ මුල් වසරේය. ඉන්පසු මුදල් ඇමැති ධුරය හිමි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය භාරව සිටින බැසිල් රාජපක්ෂටය. මේ ඔහුගේ පළමු අයවැයය. සිය සහෝදරයා වන මුදල් ඇමැති ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද උනන්දුවෙන් නිරන්තර සොයා බැලුවේය. ඒ වර්තමානයේ පවතින අර්බුද සියල්ලටම එකවර විසඳුමක් ලබා දෙන අයවැයක් ඉදිරිපත් කර ගැනීම සඳහාය. මෙම සාකච්ඡාවලට අගමැතිවරයාගේද මැදිහත්වීමක් සිදුවිය.

බැසිල් රෑ ජාමෙත් වැඩ

මුදල් ඇමැතිවරයා පසුගිය දිනවල පාන්දර තුන පමණ වනතුරු අයවැය සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටියේය. විවිධ ක්ෂේත්‍රවලට අයත් පිරිස් සමග සාකච්ඡා කර යෝජනා ගැනීමටද පියවර ගැනුණි. ​ක්ෂේත්‍ර එකසිය දෙකක පිරිස් සමග සාකච්ඡා කළද ඔවුන් සියලු දෙනා සහන ඉල්ලා සිටියහ. ‘‘අපි ඉන්නේ අමාරු තත්ත්වයකයි. ප්‍රශ්න ගොඩක. ඉදිරියේදී සහන දෙන්නම්’’ මුදල් ඇමැතිවරයාගේ යෝජනාව විය. තවද ගම සමග පිළිසඳර පවත්වමින් ගම් මට්ටමින්ද අයවැයට යෝජනා ගත්තේය.

විමල් අයවැයට නෑ

කෙසේ වෙතත් මෙලෙස සකස් කළ අයවැය යෝජනාවලට කැබිනට් අනුමැතිය ගැනීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් සිකුරාදා (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වන ඇමැති විමල් වීරවංශ හැර අනෙකුත් ඇමැතිවරුන් මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියහ. මුදල් ඇමැතිවරයා අයවැය සහන පිළිබඳව සහ යෝජනා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

වාසුගෙන් බාල්දියක්

වර්තමානයේ පවතින ක්‍රමයේ හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වසර පහකින් මන්ත්‍රි ධුරයේ සිටිය නම් ඔහුට විශ්‍රාම වැටුප හිමිය. එය වසර දහයක් දක්වා වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කරන බව ඔහු කීවේය. ඔහුගේ මේ යෝජනාවට ප්‍රසිද්ධියේ මන්ත්‍රීවරු මුකුත් නොකීවද බොහෝ දෙනෙක් එම යෝජනාව අසා මූණ කළුකර ගත්හ. කොවිඩ් හේතුවෙන් බිඳ වැටී ඇති කුඩා පරිමාණ ව්‍යාපාර ගොඩ නැංවීම සඳහා රුපියල් මිලියන අටසීයක් වෙන් කිරීමටද යෝජනා කරන බවද ඇමැතිවරයා කීවේ අයවැය යෝජනා කිහිපයක් හෙළි කරමිනි. අයවැය යෝජනා හෙළි කරමින් මුදල් ඇමැතිවරයා කළ කතාවෙන් පසු නැගී සිටි ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටියේ ‘‘මෙම අයවැයෙන් ජීවන වියදම අඩු කිරීමට කිසිදු යෝජනාවක් නැති බව පෙනී යනවා. ජීවන වියදමෙන් ජනතාව බැට කනවා. එම නිසා සහනයක් දෙන්න’’ යනුවෙනි. ඉන් පසු අයවැය අනුමත කිරීමට ඇමැතිවරු පියවර ගත්හ.

අයවැය රහස් සහිත ලිපිගොනු වාර්තාව රැගෙන මුදල් ඇමැතිවරයා සිකුරාදා (12) පස්වරුවේ වේලාසනින්ම පාර්ලිමේන්තුවට පැමිණියේය. මුදල් ඇමැතිවරයා පිළිගත්තේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් විසිනි. අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට තිබුණේ පස්වරු දෙකටය. මැති ඇමැතිවරු සමග පාර්ලිමේන්තු සභා ගර්භයට මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා රැගෙන එනවිට මන්ත්‍රිවරුන් දැඩි අත්පොළසන් නාදයක් දුන්නේ අසුන්වලින් නැගී සිටිමිනි.

ගැසට්ටුවක් නිසා අලුත් ප්‍රශ්නයක්

තෙල්, පෝර, ගෑස්, ගුරු ප්‍රශ්න මදිවාට ආණ්ඩුවට තවත් ප්‍රශ්නයක් ආවේ ගැසට්ටවුක් නිසාය.ඒ මුතුරාජවෙල ඉඩම් රජයට පවරා ගනිමින් නිකුත් කළ ගැසට් නිවේදනය නිසාය. විපක්ෂයේ මන්ත්‍රිවරු පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුද එම නිවේදනයට විරුද්ධව කතා කර තිබුණි. මින් පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබුණේ ඉඩම් හෙක්ටයාර 1618ක් පමණි. එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය හෙක්ටයාර් 6000ක් අත්පත් කර ගනිමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඊට පළමුව එරෙහි වූයේ කාදිනල් හිමිපාණන් හා මුතුරාජවෙල ස්ථිර පදිංචිකරුවන්ය. ඉන් පසු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු මැති ඇමැතිවරු විරුද්ධත්වය ප්‍රකාශ කරමින් දෙබරයට ගල් ගැසූහ.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී මෙම සතියේදී පැවැත්විණි. රැස්වීමට පැමිණි මැති ඇමැතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එනතුරු පාර්ලිමේන්තු ලොබියේ රැඳී සිටියහ. එම ස්ථානයට පැමිණි මුදල් අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාගෙන් විමසුවේ ‘‘අද ඔයාගේ රම්සා තෙත් බිම් සාකච්ඡාව නේද තියෙන්නේ’’ යනුවෙනි. ‘‘ඒක මගේ එකක් නොවේ. සමගි ජන බලවේගයයි, ජනතා විමුක්ති පෙරමුණයි කර ගහගෙන යන්න ගිය සටන මටග් අතට ගත්තා. නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා තමයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කීවේය. රැස්වීම පැවැති කාමරයට මුදල් අමාත්‍යවරයා පැමිණි විට පිළිගත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ‘‘ඔබතුමා ප්‍රධාන මේසයට එන්න’’ යනුවෙනි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ‘‘මම පීඩාවට පත් වෙච්ච ගොඩේ ඉන්නම්’‘ කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සමග අසුන් ගත්තේය. රැස්වීම ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවසුවේ ‘‘මම දන්නෙත් නැහැ හෙක්ටයාර හයදහසක් ගැසට් කරලා කියලා’’ යනුවෙනි. ඔහු විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාය.

‘‘මේ ගැසට් නිවේදනයට අනුව මීගමුව නගරයත් ඇතුළත් කරලා. උඩයාර්තෝප්පුව හා බෝලවලාන ග්‍රාම නිලධාරී වසම් අයිති නගරයටයි.’’ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා කීවේය. ‘‘කවුද මේක කළේ. මීගමුව නගරයත් ඇතුළත්කරලා’‘ මුදල් අමාත්‍යවරයා විමසුවේය. ‘‘මේක නිලධාරීන් කරලා තියෙන්නේ. ආණ්ඩු මාරු වුණාට ටයි එකේ පාට විතරයි මාරු කරලා තියෙන්නේ. අපට ගමට යන්න විදිහක් නැහැ’’ මැති ඇමැතිවරු කියා සිටියේ තමන් පත්ව ඇති අසීරුතාව පිළිබඳව දොස් කියමිනි. මෙම ගැසට් නිවේදනයට අනුව ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ හිටපු අමාත්‍යවරයා ඉදි කළ විහාරස්ථානයක්ද ඊට ඇතුළත් කර ඇති බව අනාවරණය විය.

‘‘මේක වෙනස් කරන්න ශීත කාමරවලට වෙලා තීන්දු තීරණ ගන්න එපා. ගමට යන්න. කාදිනල් හිමිපාණන්ගේ පාර්ශ්වයෙන්ද අදහස් ගන්න. දිසාපතිතුමාත් හෙට ගෙනල්ලා සාකච්ඡා කරන්න’’ ඇමැති බැසිල් රාජපක්ෂ රැස්වීම අවසන් කරමින් පැවසුවේය. ඒ අනුව පසු දින තවත් සාකච්ඡාවක් පැවැති අතර ඊට කාදිනල් හිමිපාණන්ගේ නියෝජිතයෝද එක් වූහ. ගැසට් නිවේදනය අධ්‍යයනය කර සංශෝධන සකස් කිරීම සඳහා එකළොස් දෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කරන ලදී. එහි වාර්තාව දෙසතියකින් නිකුත් කිරීමටද නියමිතය.

ජනපතිගේ හදිස්සි කතාව

ආණ්ඩුවේ ප්‍රධාන නායකයින් කිහිප දෙනකු කරන ලද කතා කිහිපයක් ගැන මෙම සතියේදී සමාජය තුළ වැඩි කතාබහක් ඇති විය. විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ පස්වන සම්මේලනය අලළා කළ කතාව ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. ඉන් පසු එවැනි කතාවක් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. මහා මාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක මාර්ග කිලෝමීටර ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මාර්ග එක්දහස් පන්සියයක් ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීම වෙනුවෙන් හම්බන්තොට වීරකැටි​යේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. මෙම උත්සවයේදී ජනාධිපතිවරයා කතාවක් නොකරන බව මීට පෙර දැනුම් දී තිබුණි. එහෙත් උත්සවය ආරම්භ කිරීමට පැයකට පෙර ජනාධිපති කාර්යාලය සංවිධායක මණ්ඩලයට දැනුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතාවක් කිරීමට සූදානම් බවයි. පෙර සූදානම් කළ කතාවක් නොව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී කතා කරන බවද පණිවුඩයෙන් කියැවුණි. උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පස්වරු තුනට වුවද ජනාධිපතිවරයාගේ පැමිණීම ප්‍රමාද වීම නිසා ආරම්භ වූයේ විනාඩි හතළිස් පහක් ප්‍රමාදවය.

ජනාධිපතිවරයාගේ කතාව අගමැතිගේ කතාවට පෙර පැවැත්වීමට අවස්ථාව දෙන ලෙසද ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයා සිය කතාව කරගෙන යන විට ‘‘මම ඥාතීන් පිටරට අරන් ගියේ නැහැ’’ යනුවෙන් පැවසුවේය. එම අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ ඇමැති නාමල් රාජපක්ෂ දෙස බලා සිනාසුණේය.

මහින්ද මහින්දමයි

කෙසේ වෙතත් මෙම උත්සවයෙන් පසු ජනාධිපතිවරයා තංගල්ල නාවික හමුදා කඳවුරේ නිල නිවස්නයකට ගිය අතර අගමැතිවරයා මැදමුලන මහගෙදර බලා පිටත්ව ගියේය. එදින සවස ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දෙමාපියන්ගේ ගුණ සමරුව මැදමුලනේදී පැවැත්විණි. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සිය දෙමාපියන් සිහි කරමින් ස්මාරකවලට පුෂ්පෝපහාර දැක්වූහ. ඉන්පසු පිරිත් පින්කම පැවැත්විණි. මෙම අවස්ථාවට මැදමුලන ගම්වාසීන්ද පැමිණ නිවාස පරිශ්‍රයේ සිටියහ. අගමැතිවරයා නිවසින් පිටතට පැමිණ ගම්වාසීන් හමුවීමට සූදානම් වුවද ආරක්ෂක අංශ ඊට බාධා කළේය. ‘‘මිනිස්සු ඇවිල්ලා ඉන්නෙ අපි නිසයි. මම ඔවුන් ළඟට ගොස් කතා කරන්න ඕනි’’ අගමැතිවරයා ප්‍රකාශ කරමින් ගම්වාසීන් අසලට ගොස් සුහදව කතා කළේ කොහේ හිටියත් තමා මහින්ද රාජපක්ෂ බව පෙන්වමිනි.

ජානකට එතනෝල් ප්‍රශ්නයක්

ගුණසමරුව වෙනුවෙන් මැදමුලන පැවැති පින්කම අවසානයේ ජනාධිපතිවරයා හමුවට රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු පැමිණියහ. ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ ‘‘එතනෝල්’’ හැදීම සඳහා සහල් භාවිත කිරීම පිළිබඳවයි. ‘‘එතනෝල්’’ ආනයනය නතර කරලා තියෙන්නේ. සහල් භාවිත කරනකොට ඔයාගේ සීනි වැඩේට පහර වදිනවා නේද’’ ජනාධිපතිවරයා පැවසුවේ සිනහසෙමිනි. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට අදාළ කරුණු රැසක් මෙහිදී සංවාදයට බඳුන් විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා කියා සිටියේ ‘‘කාබනික පොහොර වැඩේ පටන් ගෙන යන කොටත් ඔහොම බාධා ආවා. දැන් කාබනික පොහොර ගැන කතා කරපු අයත් නැහැ. නමුත් මම වැඩේ ඉදිරියට ගෙන යනවා’’ ජනාධිපතිවරයා කියා සිටියේය.

තිස්ස හායි

කෙසේ වෙතත් කාබනික පොහොර භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු කළ යුතු බවට වූ ජාතික ප්‍රතිපත්තියකට ගොවීන් මෙන්ම විවිධ පාර්ශ්ව විරෝධතා එල්ල කරති. එහෙත් කාබනික පොහොර භාවිත කරමින් වී ගොවිතැන් කිරීමට සූදානම් වන මහජන නියෝජිතයෙක්ද කුඹුරට බැස වී වැපිරීම කරන අයුරු මෙම සතියේදී දක්නට ලැබණි. ඒ බදුල්ල දිස්ත්‍රික් පාර්ලි​මේන්තු මන්ත්‍රි ජානක තිස්සකුට්ටි ආරච්චිය. ඔහු තමන්ට හිමි කතරගම ප්‍රදේශයේ පිහිටි කුඹුර ගොවීන් සමග වැපිරීම කළේ ආදර්ශයක් ලබා දෙමිනි. ‘‘මේ මගේ විනෝදාංශයයි’’ මන්ත්‍රීවරයා මෙම තීරයට කීවේය.

මන්ත්‍රි ක්‍රිකට් තරගය

මාලදිවයින ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සතියේ මෙරටට පැමිණියේ ඇමැති නාමල් රාජපක්ෂගේ ආරාධනාවකටය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් වූ නවසීලන්තය හා එංගලන්තය අතර තරගය මාලදිවයන් ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රිවරුන් නැරඹුවේ අරලියගහ මන්දිරයේ සිටයි. විශාල ප්‍රමාණයේ තිරයක් මගින් තරගය නැරඹීමේ අවස්ථාව උදා කර දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබුණි. මෙහිදී ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට තීන්දු කෙරිණි. පළමුව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් තරග පවත්වා කණ්ඩායම තෝරා ගැනීම සුදුසු බව ක්‍රීඩා අමාත්‍යවරයා යෝජනා කළේය.

ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් තරග මාලදිවයිනේදී හා ශ්‍රී ලංකාවේදී පැවත්වීමට නියමිතය.

මේ දිනවල කවුරුත් කතා කරන්නේ පෝලිම් ගැනය. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහාය. එහෙත් තරුණ තරුණියන් රට යන පෝලිම්වල සිටීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ පක්ෂ සම්මේලනයේදී අනතුරු ඇඟවූයේය. ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමද අගමැතිවරයා පවරා තිබුණේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාටය. මහරගම අපේක්ෂා රෝහලේ උත්සවයකට පැමිණි ඇමැතිවරයා මේ සොයා බැලීම ජාතික තරුණ සේවා සභාවට පැවරීමට තීන්දු කළේය. එහි සභාපති දමිත වික්‍රමසිංහට කතා කළ ඇමැතිවරයා කියා සිටියේ තාප්පවල චිත්‍ර්‍ර ඇන්ද දරුවන් පිටරට යාමේ පෝලිම්වල සිටීම පිළිබඳව ගමට ගොස් සොයා බලන ලෙසයි.

මහින්දානන්දගෙන් මන්ත්‍රින්ට උප කොන්ත්‍රාත්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඒකාබද්ධ විපක්ෂයේ සිටියදී යහපාලන ආණ්ඩුවේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ ටොප් ටෙන් වාර්තා දහයක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ පරීක්ෂණ කිරීමටය. එම පරීක්ෂණ මෙතෙක් නොකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවස්ථා කිහිපයකදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගෙන් විමසා සිටියද ඔහු පැවසුවේ විමර්ශන වන බවයි. මේ පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන පසු පෙළ මන්ත්‍රිවරුන් ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හමු වී කරුණු විමසූහ. ‘‘අපේ රජයක් යටතේවත් ටොප් ටෙන් හොරු ගැන නඩු අහන්නේ නැද්ද? ඔබතුමා පැමිණිලි කළත් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ නැහැ’’ මන්ත්‍රීවරු චෝදනා කළහ. ‘‘මට පුළුවන් දේ කරලා තියෙන්නේ. ඔබලා දැන් කතා කරන්න’’ යනුවෙන් ඇමැතිවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කතා කිරීමට යූ.කේ. සුමිත් උඩුකුඹුර, මධුර විතානගේ සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පියවර ගත්හ.

ජනපති සබ්රි වළකයි

‘‘එක රටක එක් නීතියක්’‘ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිටීයේ දැඩි කලකිරීමෙනි. තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු හිතවතුන් හමුවේ කියා සිටියේ ඊට අදාළ ලිපියද සකස් කරගනිමිනි.

එම ලිපියද රැගෙන ජනාධිපතිවරයා හමුවීමට ගිය ඇමැතිවරයාට වූයේ සිය බලාපොරොත්තුව ඉවත දැමීමටය. ‘‘ඔය කාර්යසාධක බළකායෙන් ඔයාලට උපදෙස් දෙනවා විතරයි. නීතියට ඇඟිලි ගහන්න බැහැ.

නීති හදන්න බලයකුත් නැහැ’’ ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් කීවේය. කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ‘‘ජනාධිපතිතුමනි, දැනටමත් ඔය වැඩේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස් කර අවසන් බවයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුමක් ලැබුණේ ආණ්ඩුව ගැනීමට යන තීන්දුවක් සම්බන්ධයෙනි. ‘‘අග්‍රහාර රක්ෂණයට කියලා ආණ්ඩුව විශ්‍රාමිකයන්ගෙන් ගාණක් කපා ගන්න යනවා’‘ එම රහසිගත පණිවුඩයකින් කියවුණි.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කිරීමට තීන්දු කළේය. ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ද ඇතුළත් කිරීමට පියවර ගත්තද ඊට පෙර අදාළ චක්‍රලේකය අවලංගු කිරීම විශේෂත්වයකි.

උදයජීව