NEWS

නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා චීනයෙන් ඉල්ලූ කෙසෙල් ඕඩරයක් ලංකාවට අහිමි වේ

මසකට මෙරටින් කෙසෙල් මෙට්‍රික් ටොන් දෙදහසක් චීනයට යැවීම සඳහා දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා අහිමි වී ගොස් තිබේ.

දෙරට ඇති කරගත් එම ගිවිසුමට අනුව කෙසෙල් වගා කරන ගොවීන් 150කගේ ජීව දත්ත චීන රජයට ලබා දී කෙසෙල් ඇසුරුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පමණක් සිදුකළ යුතුව තිබූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ආචාර්ය එස්. සුබහීන්කෙන්ද පවසයි.

ගොවීන්ගේ ලිපිනය, වගා කෙරෙන කෙසෙල් වර්ගය, අපනයනය සඳහා කොපමණ කෙසෙල් ප්‍රමාණයක් දිය හැකිද යන්න පිළිබඳ තොරතුරු එම ජීව දත්ත අතර තිබිණි.

ඒ අනුව සතියකට කෙසෙල් මෙට්‍රික් ටොන් පන්සියය බැගින් මසකට ටොන් දෙදහසක කෙසෙල් චීනයට අපනයනය කිරීමට එම අවබෝධතා ගිවිසුමට අනුව සැලසුම් කර තිබී ඇත.

2015 වසරේදී දෙරට අතර අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසට එවකට මෙරට හිටපු චීන තානාපතිවරයා වසර දෙකකට ආසන්න කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කිහිපයක්ම සිදු කරනු ලැබූ නමුත් කෙසෙල් ගොවීන් 150කගේ ජීව දත්ත ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ.

අදාළ ගිවිසුමට අනුව මෙරට වගා කෙරෙන ඇම්බුන්, ඇඹුල්, කෝලිකුට්ටු, රතබලා හෙවත් රත් කෙසෙල් යන කෙසෙල් වර්ග විශේෂ SL GAP කේතයක් යටතේ අපනයනය කිරීමටත් චීනයේ ඕනෑම වරායකට එම කෙසෙල් තොග ගොඩ බෑමටත් චීන රජය විසින් ලබා දුන් අවස්ථාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවකට සිටි උසස් නිලධාරීන් පැහැර හැර තිබේ.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා චීනයේ සිට විශේෂඥ කණ්ඩායමක් පැමිණ වෙනම අධ්‍යයනයක් ද සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් වෙනම කෙසෙල් ඇතුළු පලතුරු ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

එම කෙසෙල් අපනයන ගිවිසුම ක්‍රියාත්මක වුණේ නම් ඊළඟ පියවර ලෙස මුළු ලංකාවම කෙසෙල් වගා කෙරුවත් චීන වෙළෙඳපොළට යැවීමේ හැකියාවක් තිබූ අතර අඹ, පැපොල්, අන්නාසි අපනයන ගිවිසුමක්ද ක්‍රියාත්මක කිරීමට චීනය සූදානමින් සිටි බව ආචාර්ය සුබහීන්කෙන්ද මහතා අවධාරණය කරයි.

මේ වනවිට චීන වෙළෙඳපොළට කෙසෙල් අපනයනය වෙනත් ආසියාතික රටවල් විසින් සිදු කරනු ලබන බැවින් යළි එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.