NEWS

පිටින් ලස්සනට පෙනුනට මගේ ගෙදර බිත්ති පුපුරලා

“පිටතින් ලස්සනට පෙනුනාට මා පදිංචි නිල නිවසේ බිත්ති පුපුරලා. වහලය සහ සිවිලිම කැඩී ගිහින් ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මේවා පරණ ගෙවල්. සුඛෝපභෝගී තත්ත්වයක් එහි නැහැ. මහින්දානන්ද ඇමැතිවරයා පසුගියදාක පැවැසුවා මම ඉන්නේ ගෙවල් තුනක් එකට එකතු කරගෙන කියලා. ඒ බව ඔප්පු කළොත් මම මේ මන්ත්‍රී තනතුර අතහැරලා යන්න ලෑස්තියි. මට කලින් නිවාස දෙකක් එකතු කර පදිංචියට ආවේ ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා.

ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසු ඇමැතිවරයකුට හිමි සියලු වරප්‍රසාද ලබා දිය යුතු බව පනතේ සඳහන් වෙනවා. කලින් සිටි සියලු ජනාධිපතිවරු නිවසක් ලබා ගැනීම කළා. මා සෞඛ්‍ය ඇමැතිව සිටියදී සිටි නිල නිවස තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිට දුන්නේ.

මහින්දානන්ද අලුත්ගමගේ තවත් ප්‍රකාශයක් කළා ජනාධිපති කාලේ ඇමැතිවරුන් සමග මා විස්කි බිබී වැඩ කළා කියා . රටේ සෑම කෙනෙක්ම දන්නවා මම සිගරැට් අරක්කු ප්‍රතික්ෂේප කරන කෙනෙක් බව. එනිසා ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.’ යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.