NEWS

ඉන්ධන මිල 27%කින් ඉහලට.. මේ පාඩුව ජනතාවට දරන්නම වෙනවා..

මේ දින වල භූමිතෙල් මෙට්‍රික් ටොන් 550 ක් පමණ දිනකට විකිණෙන බවත් සහන මිලට භූමිතෙල් විකිණීමෙන් ඛනිජතෙල් සංස්ථාව එක දිනකට දරණ පාඩුව රු මිලියන 23ක් බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කලේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කලේය.

ශ්‍රී ලංකාවේ භූමිතෙල් භාවිතය ඉතාම සීමිතව තිබුණේ. ධීවර ප්‍රජාව තමයි බහුලව භාවිතා කරන්නේ. ඒ වගේම ආලෝකය සඳහාත් කෘෂි උපකරණ ක්‍රියා කරවීමටත් සුළු වශයෙන් භාවිතා කරනවා. ආනයන කරන්න ලෝක වෙලඳපොලේ භූමිතෙල් නැමැති ඉන්ධන වර්ගයක් නෑ. අපේ තෙල් පිරි පහදුවේ තමයි අපි භූමිතෙල් හදාගන්නේ.‍

ලෝක වෙළද පොලේ මිලදී ගන්නවා නම් අපිට භූමිතෙල් වෙනුවට ආදේශක විදිහට තියෙන්නේ ගුවන්යානා තෙල්. ගුවන්යානා තෙල් භූමිතෙල් වලට සාපේක්ෂව මිල අධික ඉන්ධන වර්ගයක්.

මේ දිනවල දවසකට භූමිතෙල් මෙට්‍රික් ටොන් 550ක් පමණ විකිණෙනවා. ඇත්තෙන්ම පසුගිය කාලයේ භූමිතෙල් අලෙවිය දෙගුණ වුණා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා.

ඩීසල් සහ භූමිතෙල් මිලෙහි පවතින දැවැන්ත පරතරය. ඩීසල් ලීටරයක් රු 111/-ට විකුණන විට භූමිතෙල් විකුණන්නේ රු77/-ට. ඒ නිසා කර්මාන්ත ශාලා වල යන්ත්‍ර සූත්‍ර, උදුන්, බෝට්ටු පමණක් නොවේ අද සමහර බස් පවා මේ දවස්වල භූමිතෙල් වලින් දුවන්න පටන් අරන් තියෙනවා. මොකද බූමිතෙල් වලින් දුවන එක ඩීසල් භාවිතයට වඩා අතිශයින්ම වාසි දායක නිසා.

වරින් වර ඇති වුණු ගෑස් හිඟය නිසා හදිසියට භාවිතා කරන්න ජනතාව භූමිතෙල් මිල දී ගැනීම.

ගෑස් සහ භූමිතෙල් අතර තිබෙන අධික මිල පරතරය නිසා ආහාර පිසීම සඳහා ගෑස් උදුන් වෙනුවට භූමිතෙල් උදුන් භාවිතා කිරීම.

මේ අතරේ පසුගිය 3දා විදුලි වැඩවර්ජනයකින් රටේ විදුලිය ඇණ හිටලා රට අදුරට යනවා කියලා කටකතාවක් පැතිරුණා. මේ හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් විදිහට රටේ හැමෝම භූමිතෙල් ලාම්පුවක් භූමිතෙල් උදුනක් සමග භූමිතෙල් මිල දී ගන්න පෙලෙඹුනා. ඉතාම සුළු පිරිසක් මිලදී ගනිමින් සිටි ඉන්ධන වර්ගයක් වන භූමිතෙල් හදිස්සියේ සමස්ථ ජාතියම මිලදී ගැනීමට පෙළබීම නිසා තමයි පසුගිය 03 වෙනිදායින් ක්ෂණික භූමිතෙල් හිඟයක් ඇති වුණේ.

දැන් අපි භූමිතෙල් විකුණන්නේ එක ලීටරයකින් රු33/- පාඩු ලබමින්. ඒ කියන්නේ භූමිතෙල් විකිණීමෙන් ඛනිජතෙල් සංස්ථාව එක දවසකට දරණ පාඩුව රු මිලියන 23ක්. ඒ පාඩුව දරා ගෙන සහන මිලට භූමිතෙල් විකුණන්නේ ධීවර ප්‍රජාවට සහ ගොවි ප්‍රජාවට සහනයක් වෙන්න. නමුත් කර්මාන්ත හිමියන්ට සහ බස් හිමියන්ට ඒ සහනය ලබා දෙන්න අපට පුළුවන් කමක් නෑ. මෙකද තෙල් සංස්ථාව තමයි ලංකාවේ තියෙන වැඩියෙන්ම ණය බරින් මිරිකිච්ච වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතනය බවට පත්වෙලා තියෙන්නේ. ඒ ඇවිල්ලා වංචාවක් දූෂනයක් නිසා නෙවෙයි. අපේ පිරිවැයට වඩා අඩු මිලකට අපි දීර්ඝ කාලයක් ඉන්ධන විකිනීමේ ප්‍රථිපලයක් විදිහට. මේ නිසා ධීවර සහ ගොවි ප්‍රජාව නොමැති ප්‍රදේශ වල භූමිතෙල් නිකුත් කිරීම අපට සීමා කරන්න සිදු වුණා. ධීවර සහ ගොවි ප්‍රජාවට ලබාදීලා තියෙන සහනය ව්‍යාපාරිකයන් විසින් අවභාවිතා කිරීමට පෙලඹුනොත් එය අත්‍යාවශ්‍ය පිරිසටත් මෙම සහනය ලබාදීමට අපිට නොහැකි වන්නට පුළුවන්. ඒ නිසා අපිට භූමිතෙල් සම්බන්දයෙන් ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කිරීමට සිදුවී තියෙනවා.

ප්‍රශ්නය

ළඟදී ඉන්ධන මිල ඉහළ යාමක් සිදු වෙනවාද ?

පිළිතුර

මා ලඟ තිබෙන තොරතුරු වලට අනුව නම් පසුගිය මාස පහේ දී තෙල් මිල වැඩි නොකළ ලොව එකම රට ලංකාවයි. එවැනි වෙනත් රටවල් තියෙනවා නම් කරුණාකරලා අපව දැනුවත් කරන්න. පසුගිය මාස පහ තුළ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 27% කින් පමණ වැඩිවීමක් පෙන්නුම් කරනවා. අපි එහෙම වැඩි නොකළේ මේ රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා ජනතාව දැවැන්ත පීඩනයක සිටින නිසායි. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම සිදු නොකළ යුතුයි කියලා හිතපු නිසා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළේ.

නමුත් මේ පාඩුව දරනවා කියන්නේ මම වත් ජනාධිපතිතුමන් වත් ගෙදරින් ගෙනල්ලා මේ පාඩුව දරන්නේ නැහැ. අපි කරන්නේ ජනතාව මේ බර දැරීම කල් දැමීම පමණයි. මේ පාඩුව කවදාහරි ජනතාවට ම තමයි දරන්නට වෙන්නේ. ජනතාව මේ මොහොතේ පීඩනයෙන් සිටින නිසා අපි ඒක අනාගතයට තල්ලු කරලා තියෙනවා.

මේ නොවැම්බර් මාසයේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම ගරු මුදල් අමාත්‍ය තුමන්ට බාරයි. තෙල් සංස්ථාවට සහනාධාරයත් දෙනවද? ඉන්ධන මිල වැඩි කරනවද? නැතිනම් ඉන්ධන මත තිබෙන බදු අඩු කරනවාද? යන්න තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරාවි.

ප්‍රශ්නය

රජය විසින් මිල පාලනය කරන්නේ නැහැ. මුදලාලිලාට කරන්න දීලා බලන් ඉන්නවා කියලා ලොකු චෝදනාවක් එල්ල වෙනවා නේද ?

පිළිතුර

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කියලා පරණ කවියක හතරවෙනි පදයේ කියවෙනවා. ඉල්ලුම හා සැපයුම අනුවයි මිල තීරණය කරන්නේ. ඉල්ලුමට සරිලන සැපයුමක් නැති නම් අනිවාර්යයෙන්ම ඉහළ මිලක් තීරණය වෙනවා. ආර්ථික විද්‍යා න්‍යායන්ට අනුව අප වෙළඳපොළ මිලට වඩා පහළ මිලක් තීරණය කරනවා නම් එතැන සැපයුමට වඩා ඉල්ලුම වැඩියි. කළු කඩේට යන්නේ නැතුව ආණ්ඩුව විසින් පාලන මිලක් ක්‍රියාත්මක කරන්න නම් අර සැපයුමට වඩා වැඩියෙන් තිබෙන ඉල්ලුම ආණ්ඩුව මැදිහත් වෙලා සපුරාලන්න ඕන.

සරලව කියනවා නම් සහල්වලට පාලන මිලක් දැම්මහම මෝල් හිමියන් සපයන්නේ නැහැ. එවිට ආණ්ඩුවට එම මිළ පවත්වා ගන්න නම් පිටරටින් සහල් ආනයනය කරලා වෙළඳ පොලට නිකුත් කරන්න පුළුවන් කම තියෙන්න ඕන. ඉස්සර ඕක කළා. දැන් ඉන්න වෙළඳ ඇමතිතුමා ම තමයි 2010 සහ 2015 කාලය තුළත් වෙළඳ ඇමති තුමා. එතුමා එදා ඒක කෙළේ නැද්ද. එදා කරපු බන්දුල ගුණවර්ධන මැතිතුමාට අද බැරි වෙලා තියෙන්නෙ ඇයි. එදා නොතිබුණු ඩොලර් ප්‍රශ්නයක් අද අපට තිබෙනවා.

මතක ඇති මම තමයි ඉස්සෙල්ලාම රටට කිව්වේ ලංකාව විදේශ විනිමය අර්බුදයක් කරා යමින් තියෙනවා කියලා. මම ඒක කිව්වෙ ජූනි මාසයේ. බොහෝ දෙනෙක් එවිට කිව්වා ඒක බොරුයි කියලා. එදා මා කිව්ව දේ අද තිත්ත ඇත්තක් බවට පත්වෙලා තියෙනවා. මේ ඩොලර් නැති හන්ද තමයි ගෑස් නැතිවෙන්නේ. කිරිපිටි හිඟ ඇති වන්නේ, සිමෙන්ති හිඟය ඇති වන්නේ. ආණ්ඩුවට මිල පාලනය පවත්වා ගැනීමට බැරි වෙලා තියෙන්නේ. ඩොලර් දුප්පත්කමින් ආණ්ඩුව පෙළීම නිසා ආණ්ඩුවත් දැන් වලිගය නැති ගොනා වැනියි.

අපේ රටේ මේ ආර්ථිකය අර්බුදය කොහොමත් තිබුණා. ඔබ දකිනවා ඇති 2014 වන විට 6% ආර්ථික වර්ධන වේගයක් තිබුණු ලංකාව ක්‍රමානුකූලව අඩුවේගෙන ඇවිල්ලා 2% සමීප වනවා 2019 වනවිට. ඒ අතරේ පාස්කු ප්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා මේ ආර්ථික අර්බුදය තීවුර වුණා. මේ මැදට කොරෝනා ආවහම සංචාරක ව්‍යාපාරය බින්දුවටම වැටුණා. විදේශ රැකියා සඳහා වසරකට එක්ලක්ෂ අසුදහසක් යනවා. මේ වසරේ තාම ගිහිල්ලා තියෙන්නෙ තිස්පන් දහසයි. එක් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසකට විදේශ රැකියාවලට ගිහිල්ලා ලංකාවට ඩොලර් එවීමේ හැකියාව අහිමි වෙලා තියෙනවා. විදේශ ආයෝජන නතර වෙලා තියෙනවා. වෙනදා රටට ආපු ඩොලර් ප්‍රමාණය අද එන්නේ නෑ. ඕක තමයි මේ ඩොලර් අර්බුදය. ඩොලර් අර්බුදයකට ලංකාව ගමන් කරමින් තිබුණා කොරෝනා ඇවිදින් එය තීවුර කළා.

අපේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර දැවැන්ත පරතරයක් තියෙනවා. එය වසරකට ඩොලර් බිලියන අටක් පමණ වෙනවා. ආනයන සීමා කිරීමට සහ අපනයන ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව දැවැන්ත උත්සාහයක යෙදෙන්නෙ මෙම ඩොලර් හිඟයට විසඳුමක් හොයා ගන්නයි. අපිට ආනයන වියදම අඩු කරල අපනයන ආදායම වැඩි කරලා ඩොලර් හිඟය ප්‍රශ්නය විසඳාගැනීමට බැරිනම් ඊළඟට තියෙන්නෙ ණය ගන්නයි. ලබන වසරේ ඩොලර් බිලියන 7 ක පමණ විදේශ ණය ගෙවීමට අපට තියෙනවා. එය ගෙවීම මේ මොහොතේ දැවැන්ත අභියෝගයක්. ආණ්ඩුව නිර්මාණශීලී විසඳුම් සොයමින් ඉන්නවා. අපි විසඳුම් සොයා ගත්තේ නැත්නම් තත්ත්වය උග්‍ර වීමට නියමිතයි.

1978 ඉදන්ම ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩියි. 2019 වන විට ඩොලර් බිලියන 8 ක පරතරයක් වුණා. ඩොලර් බිලියන 8 ක පරතරයට අමතරව සාමාන්‍යයෙන් අවුරුද්දකට තවත් ඩොලර් බිලියන පහක පමණ ණය ගෙවන්න තියෙනවා. ණය ගැනීම පටන්ගත්තේ 60 දශකයේ ඉදන්. ඒක මේ ආණ්ඩුව ආරම්භ කළ දෙයක් නෙවෙයි. ආණ්ඩුව රට බාර ගත්තෙත් ඩොලර් බිලියන 35 ක විතර ණයක් එක්ක. හැත්තෑ අටේ විතර ඉඳන් මේ අර්බුදය ඔඩු දුවමින් ආවා. මේ අතර තමයි පාස්කු ප්‍රහාරය හරහා සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම සිදු වුනේ. පස්සේ කොරෝනා ඇවිල්ලා සංචාරක ව්‍යාපාරයත් විදේශ රටවලින් ලැබෙන ප්‍රේෂණත් දෙකම කඩා වැටෙනවා. විදේශ ආයෝජනත් නැතිවුණා.

අපි හිටියේ ගහින් වැටිලයි. කොරෝනාවලින් සිදුවුණේ ඒ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනීම. ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ඇරුණුකොට අනික් රටවලට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී නෙමෙයි කොරෝනා ආවේ. ඒ රටවල් වලේ වැටෙද්දී ඔවුන්ගේ ෂොකැබ් සෝබර් හොඳට තිබුණා. අපේ රටේ ෂොකැබ් සෝබර් ගිහිල්ලා තිබුනේ. වලට වැටුනම කොන්ද කැඩෙනවා ඉතින්.