SPORTS

ලෝක කුසලානයේදී ලබා ගත් විශාලතම ජයග්‍රහණ 04

හත්වැනි වරට පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් පැවැති තරග වලින් විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය ඊයේ (25 වැනිදා) සමත් වූයේ ස්කොට්ලන්තය ලකුණු 130 කින් පරාජය කරමිනි. එහෙත් වසර 14 ක් පුරා ඈතට දිවයන විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් පැවැති තරග වලදී දැවැන්තම ජයග්‍රහණය අත්පත් කරගැනීමේ ගෞරවය තවමත් හිමිකරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාවට ලකුණු 172 ක ජයක්

එය වසර 2007 දී පැවැති ප්‍රාරම්භක විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති තරගයකි.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් කෙන්යානුවෝ ශ්‍රී ලංකාව මෙල්ල කිරීමේ අදහසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට පැවරූහ. එහෙත් සනත් ජයසූරිය පන්දු 44 කදී ලබාගත් ලකුණු 88 ත්, නායක මහේල ජයවර්ධන පන්දු 27 කින් ලබාගත් ලකුණු 65 ත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී ලකුණු 260 ක් ලබාගත්තේය.

ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් අදටත් රැඳී ඇත්තේ මෙම ලකුණු 260 යි. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ගැසූ හතරේ පහර සංඛ්‍යාව 30 කි. හයේ පහර සංඛ්‍යාව 11 කි. ජෙහාන් මුබාරක් පන්දු 13 කින් ලබාගත් ලකුණු 46 ට හයේ පහර 5 ක් ඇතූළත් විය.

ඉලක්කය හඹා යාම සිහිනයක් වූ කෙන්යානු පිලේ තෝමස් ඔඩෝයෝ තුවාල ලබා පිටියෙන් ඉවත් වූ අතර ඕවර 19.3 කදී ලකුණු 88 කට ඉතිරි කඩුලු සියල්ලම අහිමි කරගත්හ.

චමින්ද වාස් (15/2), ලසිත් මාලිංග (13/2) සහ ටී. එම්. ඩිල්ෂාන් (04/2) කඩුලු 6 ක් බෙදාහදා ගත්තෙන් තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 172 ක ජයක් හිමිවිය.

එය එතෙක් – මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් දැවැන්තම ජයග්‍රහණයයි.

දකුණු අප්‍රිකාවට ලකුණු 130 ක ජයක්

එය වසර 2009 දී එංගලන්තයේ ලන්ඩන් ඕවල් පිටියේදී ස්කොට්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයකි.

නායක ග්‍රේඒම් ස්මිත් (38) සහ ජැක් කලිස් (48) දෙදෙනාගේ ලකුණු 87 අඩිතාලම මත සිටගත් ඒ.බී.ඩිවිලියර්ස් පන්දු 34 කින් ලබාගත් ලකුණු 79 නිසා දකුණු අප්‍රිකානුවෝ නියමිත ඕවර 20 න් ලකණු 211 ක් ලබාගත්හ.

ස්කොට්ලන්තයේ වත්මන් නායක කයිල් කොඑට්සර් ලකුණු 81 ක් ලබාගත් නමුත් සම්පූර්ණ ස්කොට්ලන්ත කණ්ඩායමම ඕවර 15.4 ක් ඇතුළතදි ලකුණු 81 ක දැවී ගියේය.

දකුණු අප්‍රිකාවට ලකුණු 130 ක ජයක් හිමිවිය.

ඇෆ්ඝනිස්තානයට ලකුණු 130 ක ජයක්

ඉතිහාසය යළි යළිත් එකම දේ කරයි යන්න සනාථ කරමින් වසර 12 කට පසුව ස්කොට්ලන්තය නැවත වරක් පැරණි ඉරණමටම මුහුණ දුන්නේය. ඊයේ (25 වනිදා) පැවැති තරගයේදී හසරතුල්ලා සසායි (44) සහ නජිබුල්ලා සද්රාන් (59) දෙදෙනාගේත් අනුකම්පා විරහිත පිතිහරඹය නිසා ඇෆ්ඝනිස්ථානුවෝ නියමිත ඕවර 20 නිමාවේදී ලකුණු 190 ක් ලබාගත්හ. මේ දෙදෙනා එක්ව ගැසූ හයේ පහර සංඛ්‍යාව 6 කි. ඇෆ්ඝනිස්තානු ඉනිමේ තිබූ සම්පූර්ණ හයේ පහර සංඛ්‍යාව 11 කි.

දඟ පන්දු යවන්නන් වූ මුජිබුර් රහමන් (20/5) සහ රෂීඞ් ඛාන් (09/4) එක්ව ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 60 කට සීමා කරමින් ලකුණු 130 ක දැවැන්ත ජයක් ඇෆ්ඝනිස්ථානයට ගෙන දුන්හ.

එංගලන්තයට ලකුණු 116 ක ජයක්

එය අදින් වසර 9 කට පෙර, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැති තරගයකි.

ශතකය පෙනි පෙනී සිටියද ඕවර සංඛ්‍යාව අවසන් වීම නිසා ආපසු ක්‍රීඩාගාරයට ගිය ලූක් රයිට්ගේ (නොදැවී 99) පිතිහරඹයට ස්තුති වන්නට, එංගලන්තය කඩුලු 5 කට ලකුණු 195 ක් ලබාගත්තේය. පන්දු 55 කින් පැමිණි ලූක් රයිට්ගේ ලකුණු 99 න් ලකුණු 68 ක්ම (හතරේ පහර 8 යි, හයේ පහර 6 යි) ලබාගත්තේ පන්දුව ලණුවෙන් එපිටට යැවීමෙනි.

පන්දු යවන්නන්ගේ සාමූහික දායකත්වය මත ඇෆ්ඝනිස්ථානය එදා ලකුණු 80 කට දැවී ගියේ එංගලන්තයට ලකුණු 116 ක ජයක් අත්කර දෙමිනි.