NEWS

ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුලෙම විසඳාගන්න – ජනපති කියයි

ආණ්ඩුවේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළෙම විසඳා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පෙරේදා (24 වැනිදා) දැනුම් දී ඇත.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

කාබනික පොහොර වගාව තමන්ගේ තනි තීන්දුවක් නොවන බවත් සෞභාග්‍යයේ දැක්මේ සඳහන් ප්‍රතිපත්තියක් බවත් ජනාධිපතිවරයා කීවේය. එය හැටනව ලක්ෂයක් අනුමත කර ඇති බවත් කාබනික පොහොර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නද එය ක්‍රියාත්මක නොවූ බවද ඔහු පෙන්වා දුන්නේය. ඉන් පසු රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර යොදා වගා කටයුතු කිරීමට තීරණය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදීද නිලධාරීන්ගේ කැපවීම ප්‍රමාණවත් නොවන බව පැවැසූ ජනාධිපතිවරයා සියලුදෙනා එකතුව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් කියා සිටියේය.

කාබනික පොහාර හා ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නවලදී විපක්ෂයට එරෙහිව තමන් තනිව සටන් කළ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි මෙහිදී පැවැසුවේය. දේශපාලනය කිරීමේදී ආණ්ඩුව ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඇතැම් මන්ත්‍රීවරුන් කාබනික පොහොර ව්‍යාපෘතිය පිළිබඳව පිටතදී විවේචන එල්ල කිරීම නුසුදුසු බවද පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මෙහිදී පෙන්වා දී ඇත්තේ කාබනික ගොවිතැන ආරම්භ කිරීම පිළිබඳව උතුරේ ගොවීන් ආණ්ඩුවට ස්තූතිය පුද කරන බවයි. උතුරේ ගොවීන් කාබනික පොහොර භාවිත කරමින් ගොවිතැන් කරන මොහොතක දකුණේ ගොවීන් විරෝධතා පැවැත්වීම පුදුමයට කරුණක් බව මන්ත්‍රීවරයා කීවේය.

මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යුගදනවි බලාගාරය ඇමෙරිකාවට ලබාදීම සම්බන්ධ‍යෙන් සාකච්ඡා නොකළ බවද අනාවරණය වේ.