NEWS

යුගදනවි ඇමරිකාවට දීමට විරුද්ධව ආණ්ඩුවේම පක්ෂ 11 කින් රැළියක්

යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පවරා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අවස්ථාවක් නොදීම හේතුවෙන් ප්‍රසිද්ධ රැලියක් පවත්වා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට සහයෝගය ලබාදෙන දේශපාලන පක්ෂ එකොළහක නායකයන් තීරණය කර ඇත.

වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙන්ද පවත්වන මෙම රැලිය එළැඹෙන 29 වැනිදා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. දේශපාලන පක්ෂ එකොළහේ නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්ගේ නිවසේදී පෙරේදා (23 වැනිදා) පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත. මෙම රැලියට ප්‍රථම යුගදනවි බලාගාරය ඇමරිකා සමාගමට පවරා දීමට විරෝධය පළ කරමින් එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටද තීරණය කර ඇත.

එම ඒකාබද්ධ ප්‍රකාශය එන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. ඉන්පසු සියලුම වෘත්තීය සමිති සමගද විශේෂ සාකච්ඡාවක් පවත්වා රැලිය පැවැත්වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජනබල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය එම දේශපාලන පක්ෂ එකොළහ වෙයි. බලාගාරය පවරා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පක්ෂ ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා සැප්තැම්බර් මස 21 වැනි දින ලිපියක් යොමු කරන ලදී. නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.