GOSSIP

පොහොර ප්‍රශ්නේ නිසා රෑට මළ ගෙවල්වල යන්නත් බෑ..මිනිස්සු රවනවා බනිනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගිය සතියේ පාලමක ලෑලි කඩාගෙන වැටී දිවිබේරා ගත්තේ අනූනවයෙනි. ඒ සන්තෑසිය වීමට පෙර ඔහු කීවේ පෝර ප්‍රශ්නය නිසා මළ ගෙදරකටත් යන්න බැරි බවය. මේ ගැන සතිඅග අරුණට මන්ත්‍රීවරයා කී කතාවය.

පොහොර අර්බුදය නිසා ඔබටත් ගමට යන්න බැරිද?

මට නම් යන්න පුළුවන්.

එහෙනම් මොකද ප්‍රශ්නේ,
රසායනික පොහොරවලට පුරුදු වූ ගොවියා එක පාරටම කොම්පෝස්ට්වලට පුරුදු කරන්න අමාරුයි. අපේ දිස්ත්‍රික්කයේ තේ, අර්තාපල්, එළවළු ගොවීන් මේ නිසා දැඩි අසීරුතාවට පත්වෙලා. තේ ගොවීන් දැඩි කලකිරීමට පත්ව සිටිනවා. තේ වගාවට කොම්පෝස්ට් පොහොර වැඩේ හරියන්නේ නැහැ. ලෝකයේ කිසිම රටක කාබනික පොහොර භාවිත කරලා තේ වගා කරන්නේ නැහැ. මේ නිසා පක්ෂ භේදයකින් තොරව ගොවීන් බනිනවා.

පොහොර ප්‍රශ්නය නිසා ඔබට මළ ගෙවල්වලදීත් බැණුම් අහන්න වෙනද?
අපොයි ඔව්; මම හාලිඇල ආසනයේ මළ ගෙදරකට ගියා. ඒ ගමට විදුලිය ජලය ලබා දුන්නෙත් මම. මිනිස්සු මළ ගෙදරදී ඔරවගෙන ඉන්නකොට මම ඇහුවා ඇයිද කියලා. පොහොර ප්‍රශ්නය මුල් කරලා බනින්න පටන් ගත්තා. දවල් කාලයේ උත්සවවලට ගියත් එහෙමයි. පොහොර ප්‍රශ්නය ගැන තමයි කියන්නේ.

වැඩියෙන් බැණුම් අහන්න වෙන්නේ දවල් ද රෑටද
රෑට මළ ගෙවල්වල ගියොත් ඉවරයි. රෑ හතෙන් පස්සේ මළ ගෙවල්වලට එන ඇතැම් පිරිස සීතලට බීලා ඉන්නේ. එතකොට පොහොර ප්‍රශ්නයේ උණුසුම වැඩියි. එම නිසා අපි දැන ගන්න ඕනි මේ දවස්වල දහවල් කාලයේ මළ ගෙවල්වල යන්න.

ඉතිං ගමේ ප්‍රශ්නේ ඔබට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී කතා කරන්න පුළුවන්නේ?
මා ඇතුළු ගොවිතැන් කරන පැතිවලින් දැඩි සටනක් කරගෙන ගියා. තේවලට රසායනික පො​හොර දෙනවා කියා කෘෂිකර්ම අමාත්‍යවරයා තුන් පාරක් පොරොන්දු වී තිබෙනවා. ජනාධිපතිතුමාත් අවධානය යොමු කරලා එළවළු, මල්, වගාව හා තේ වගාව සඳහා කොම්පෝස්ට් ​පොහොර ක්‍රමවේදය අවසන් කිරීමේ වැඩපිලිවෙළක් සකස් කරනවා. පළිබෝධ නාශකත් අවශ්‍යයි.

කාබනික ගොවිතැනට ගොවීන් හුරු කිරීම ගැන සතුටු නැද්ද?
සතුටුයි. නමුත් කාබනික ගොවිතැන ක්‍රියාත්මක කළ යුත්තේ නිසි වැඩපිළිවෙළක් ඇතිවයි. අපේ රට එන්නත්කරණයෙන් සාර්ථක වූයේ නිසි වැඩපිළිවෙළකින් ක්‍රියාත්මක කිරීම නිසයි. ඒ පිළිබඳව විපක්ෂයටවත් චෝදනා කරන්න බැහැ. නමුත් පොහොර ප්‍රශ්නයේදී අපි කලිසම ගලවනකොට සරම මහල තිබුණේ නැහැ. එතකොට තමයි හෙලුව පේන්නේ. කලිසම ගැලෙව්වම සරමක් ඇඳගන්න නම් සරම මහගන්නට ඕනි. ඒක නිසා වැඩේ අංජබජල් වෙලා. පිහිය රත්තරන් වුණත් ඇණගත්තොත් මැරෙනවා කියලා කල්පනා කළ යුතුයි.

අන්තිමට කලිසමත් සරමත් නැති වූ ඔබ පාලමකින් වැටෙන්නත් ගියා නේද?
මම වැටුණේ 1884 ඉංග්‍රීසි ජාතිකයන් හාලිඇල හා ඌවපරණගම යා කරමින් හදපු පාලමකින්. මේක ලීයෙන් කළ ඓතිහාසික පාලමක්. දැන් ලී දිරාපත් වෙලා අඩිය තියපු ගමන් ලීයත් කඩාගෙන එක කකුලක් පහළට ගියා. මම පාළම නිරීක්ෂණය කරමින් යනකොට තමයි මේ කරදරයට මුහුණ දුන්නේ. අවට සිටි පිරිස අල්ලගත්තේ නැත්නම් මම ගල්අන්දා ඔයෙන් තමයි නතර වෙන්නේ.

දැන් ඔබතුමා ප්‍රදේශයේ මහජන නියෝජිතයා. මේ පාලම හදන්න එහෙම අදහසක් නැත්ද?
මීට වසර හතකට පෙරත් දිරාපත් වූ ලී ඉවත් කරලා හැදුවා. මහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් මම ලබන වසරේ විමධ්‍යගත ප්‍රතිපාදනවලින් මෙම පාලම නවීකරණය කරනවා.

පාලමෙන් වැටීම දේශපාලන රංගනයක්ද?
අපොයි නැහැ. කවුරුවත් යන්නේ නැහැ මේ පාලම හදන්න. පාලම හදන්න බලන්න ගිය මට කෙළ වුණා.

උදයජීව ඒකනායක