GOSSIP

දහම් සිරිසේන උතුරු මැද මහ ඇමති අපේක්ෂකත්වයට ?

ආර්ථික අර්බුදයට සමගාමීව ආණ්ඩුව මුහුණ දෙමින් තිබෙන බලවත්ම අර්බුදය වන්නේ පොහොර ප්‍රශ්නයයි. කෘෂිකර්ම හා වැවිලි විෂයන් සඳහා ඇමැතිවරු බොහොමයක් සිටියදී ගොවිබිම්වලින් නැගෙන විරෝධතාව කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. අවසානයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කළේ ප්‍රශ්නය පිළිබඳ තනිවම සොයා බැලීමටය. කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයාට කාබනික පොහොර සම්බන්ධයෙන් සමාජයේ පවතින කතිකාවත හොඳින් පැහැදිලි විය. උන්වහන්සේ හමුවීමෙන් පසු ජනපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට දුරකතන ඇමැතුමක් දී දෝෂාරෝපණය කළේ පොහොර ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට ඔහු දැක්වූ අසමත්කම හේතුවෙනි. තම රජය පත් වූ විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වූයේ ජනපතිවරයාගේ සමීපතමයකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය. ඔහු සමග වැඩ කිරීමට නොහැකි බව කෘෂිකර්ම ඇමැතිවරයා දිගින් දිගටම කීම හේතුවෙන් සුමේධ පෙරේරාට ලේකම්කම අතහැර ගෙදර යන්නට සිද්ධ විය.

ජනපතිගෙන් කෘෂිකර්ම ඇමැතිට දොස්

‘‘සරසාලේ’’ වීරයා ලෙස ප්‍රකටව සිටි සුමේධ පෙරේරා 2000 දී අලිමංකඩ බිඳ වැටීමත් සමග යාපනය අර්ධද්වීපය එල්.ටී.ටී.ඊ.යෙන් බේරා ගැනීමට කළ සටනේ වීරයා වූවේය. යුද්ධය පමණක් නොව හෙතෙම කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුමක් ඇති ගොවියකු ද වූවේය. එම නිසා ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කළත් විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම කියා සිටියේ ලේකම්වරයා සමග කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බවය.

‘‘මට මගේ මිනිහෙක් දාගන්න ඕනි.’’ ඇමැතිවරයා කියන විට ඊට ද ජනාධිපතිවරයා ඉඩ දුන්නේය. ඉක්බිතිව ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණියේ නිලධාරියෙක් කෘෂිකර්ම ලේකම්වරයා ලෙස පත්වුණ ද ඔහුටත් පුටුව නැති විය.

ලේකමුත් ෆේල්

ඉන් පසු වත්මන් කෘෂිකර්ම ලේකම්වරයා පත් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ ඉල්ලීමට අනුවය. ජනාධිපතිවරයා පොහොර ප්‍රශ්න ගැන විමසන විට එම ලේකම්වරයා කියා සිටියේ රටට අවශ්‍ය කාබනික පොහොර මෙරටදීම හදාගැනීමට හැකි බවය. කෙසේ වෙතත් පොහොර අර්බුදය දිගින් දිගටම දිවීමෙන් පැහැදිලි වන්නේ ලේකම්වරයා හා ඇමැතිවරයා කටින් බතල හිටවා ඇති බවය. ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසා ඇත්තේ ‘‘ඔයා දැන් කිව්වනේ සුමේධ එක්ක බැහැ කියලා. එයා අයින් කළා. ඔයා දැන් වැඩේ හරියට කළාද. මම මේ ගැන නැවත වරක් කතා කරන්නේ නැහැ. තීරණයක් ගන්නවා.’’ යනුවෙනි. ඊට ඇමැතිවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.

ජනපති මැතිසබයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බ්‍රහස්පතින්දා (21 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේ එදින පැවැති විවාදයට සහභාගි වීම සඳහාය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට සභාවේ කතා කරමින් සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. රසායනික පොහොර හිඟය හා පොහොර කලට වේලාවට නොදීම නිසා ගොවියා පත්ව ඇති අසරණභාවය පිළිබඳව ඔහු කතා කරමින් සිටියේය. විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. අගමැතිවරයාත් – ජනාධිපතිවරයාත් දෙදෙනාම සබාගැබේ සිටින බැවින් ඇමැතිවරයා වෙනදාට වඩා උනන්දුවකින් හා සටන් කාමීත්වයෙන් පිළිතුරු දුන්නේය.

එදින පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ පනත් හතරකි. විනාඩි විස්සක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටි ජනාධිපතිවරයා පිටතට පැමිණෙන විට ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු සිය ජංගම දුරකතනයෙන් වීඩියෝවක් පෙන්නුවේය. එය බලා ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ද සිනාසුනහ. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කතා කර ඇත්තේ සරසවි ආචාර්යවරයකු කළ කතාවක කොපියක් බව මෙහි දී හෙළි විය.

මහින්ද ලස්සන වෙලා

ඉන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකු ජනාධිපති කාර්යාලයේ රැඳී සිටියහ. මෙම ස්ථානයට තව නොබෝ දිනකින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස යාමට නියමිත මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාද පැමිණියේය. ඇමරිකාවේ තානාපතිවරයා ලෙස යාමට පෙර ඔහු එරට සංචාරයක නිරත වූයේය. එහි තොරතුරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම මන්ත්‍රීවරයාගේ අරමුණ විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හමු වීමට පෙර මන්ත්‍රීවරයා අගමැති මහින්ද රාජපක්ෂ ද හමු වූයේය. ‘‘ආ මහින්ද දැන් ලස්සන වෙලානේ.’’ අගමැතිවරයා කීවේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කාර්යාලයේ රැඳී සිටි කාලය තුළ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ කතා බහ කළහ. රත්නපුරයේ මැණික් පිළිබඳ ප්‍රශ්නයක්ද කතා බහට ලක් විය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත් වීමට සූදානම්ව පිටතට පැමිණියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ හා කාංචන විජේසේකර යන අමාත්‍යවරු සමගිනි. ජනාධිපතිවරයා පිටත්ව ගිය පසු මෙම ඇමැතිවරුන් විදුලි සෝපානයට නැග යළි එන විට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ගුරු වර්ජනය හා පොහොර ප්‍රශ්නය ගැන පැවැත් වූ මාධ්‍ය හමුව ඇගයීමට ලක් කළහ. ‘‘එමගින් ජනමතය වෙනස් වුණා.’’ ඔවුන්ගේ මතය විය.

පාර්ලිමේන්තුවේ සිට ජනාධිපති කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා වී වගා කරන දිස්ත්‍රික්ක පහළොවක ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරු හා ගොවි ජන නිලධාරින් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ කාබනික ගොවිතැන පිළිබඳ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූයේය.

දහම් දේශපාලනයට

ඩී.ඇස්. ඩඩ්ලි පිය පුතුගෙන් ඇරැඹුනු ලංකාවේ දේශපාලනයේ තාත්තා පුතාලගේ දේශපාලනයට අලුත් වාසගමක් ගිය සතියේ එකතු වූවේය. ඒ සිරිසේන වාසගමය. ඒ වාසගම තිබෙන පුතෙක් ඔටුන්න හිමි කුමරෙක් වෙතැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති ධුරය දරපු කාලේ කවුරුත් කල්පනා කළේ නැත. එකල පැතිරී තිබූ ආරංචිය වූයේ මෛත්‍රිගේ වැඩිමහලු දුව චතුරිකා දේශපාලනයට එනු ඇති බවය. නමුත් දැන් දේශපාලනයට ඇවිත් ඇත්තේ පුතාය. දහම් සිරිසේන කරළියට එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමගය. තරුණ සංවිධාන, කාන්තා සංවිධාන බළමුළු ගන්වමින් ප්‍රතිසංවිධාන කටයුතු කෙරෙමින් පවතී. පොළොන්නරුවේ දිස්ත්‍රික්කයේ තරුණ සංවිධානය පිහිටුවීමේ දී එහි සභාපති ධුරයට පත් වූයේ හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේනය. ඔහුගේ නම මින් පෙර කරළියට ආවේ අවස්ථා දෙක තුනකදී පමණි. සිය පියා ජනාධිපති පදවිය දැරූ කාලයේ සමාජ ශාලාවකට හමුදා සෙබළුන් සමග එල්ල කළ ප්‍රහාරයකින් ඔහුගේ නම කියැවුණි. කෙසේ නමුදු මීළඟ පළාත් සභා සභා මැතිවරණය පැවැත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උතුරුමැද ප්‍රධාන අමාත්‍යධුරයට දහම් සිරිසේන ඉල්ලීමටද අපේක්ෂා කරන බව වාර්තා වෙයි.

දයාසිරි පුතා වළකයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තම පුත්‍රයා දේශපාලනයට අවතීර්ණ කළද එහි මහලේකම් දයාසිරි ජයසේකර සිය පුත්‍රයා දේශපාලනයට පැමිණීමට ගත් උත්සාහය උපන් ගෙයිම නතර කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ බල මණ්ඩලයට ඉදිරිපත් වීමට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඉල්ලා සිටියත් මහ ලේකම්වරයා ඊට ඉඩ දුන්නේ නැත.

බදුල්ලේ ශ්‍රී ලනිප වලිය

ප්‍රතිසංවිධාන කටයුතු අඛණ්ඩව සිදු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සභාපති මෛත්‍රිපාල සිරිසේනගේ පැජට් පාරේ නිවසට බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්වූහ. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු එල්ල කරන විවේචන පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ එල්ල කර ඇති විවේචන පිළිබඳව හිටපු ජනාධිපතිවරයාද කරුණු දැක්විය. ඒ පොළොන්නරුවේ ඇති දේශපාලන ගැටුමකි. නමුත් මන්ත්‍රී කණ්ඩායමේ අදහස් වී ඇත්තේ ආණ්ඩු විරෝධයක් ඇති කිරීමට පක්ෂයට වුවමනාවක් නොමැති බවයි.

මෙම රැස්වීමේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ගැටුමක් ද කරළියට පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇමැති නිමල් සිරිපාලද සිල්වා දැඩි ලෙස විවේචනය කළේ ඇමැතිවරයාට උන්හිටි තැන්ද අමතක වන අයුරිනි. ‘‘මුදල් අමාත්‍යාංශය බදුල්ල දිස්ත්‍රික්කයට ලබා දුන් ආධාර වගයක් නිමල් ඇමැතිතුමා’’ තමන්ගේ ආසනයට විතරක් බෙදා ගෙන’ මේවා බලු වැඩ’’ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අවි අමෝරා ගත්තේය. එහෙත් ඇමැති නිමල් සිරිපාලද සිල්වා ඊට උත්තර නොදී සිය දේශපාලන පරිණතභාව පෙන්වූයේය. ඇමැති නිමල් සිරිපාලද සිල්වාට බැණ වැදුනු මන්ත්‍රීවරයා රැස්වීම අවසන් වීමට ප්‍රථම එතැනින් නික්ම ගියේය.

මන්ත්‍රීවරයා නික්ම ගිය පසු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට තරයේ අවවාද කරන ලෙසයි.

ප්‍රංශයේ පැවැති සංචාරක අලෙවි ප්‍රදර්ශන වැඩසටහනකට සහභාගි වීම සඳහා ගිය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග දිවයිනට පැමිණියේ සඳුදා රාත්‍රියේය. දිවයිනට පැමිණ ගුවන්තොටුපොළේ රැඳී සිටින අතරවාරයේ දී අමාත්‍යවරයාට දුරකතන ඇමතුම් දෙකක් ලැබුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සහ ඇමැති නාමල් රාජපක්ෂගෙනි. ඇමැති නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ‘‘අගමැතිතුමාට ඔබතුමාව හම්බවෙන්න ඕනි කියනවා. ඉක්මනට කොළඹ එන්න ’’ යනුවෙනි. ඒ අනුව සංචාරක අමාත්‍යවරයා කඩිනමින් කොළඹට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ සමග පැයක පමණ කාලයක් සාකච්ඡාවක නිරත විය. ඉන් පසු ඉන්දියාවේ කුසිනාරා නුවර නව ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවෙන් පිටත් වන දූත පිරිස සමගද ඇමැති ප්‍රසන්න රණතුංග එක් විය. මෙම දූත පිරිසේ නායකත්වය ​ෙහබවූයේ ඇමැති නාමල් රාජපක්ෂය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හිටි හැටියේම ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දැකීම සඳහා ධර්මායතනයට පැමිණියේය. ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකා සමාගමකින් ණය මුදලක් ලබා ගැනීමේ දී අමාත්‍යරවයා මුදල් ගත් බවට විපක්ෂය නගන චෝදනාවල සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කිරීම මෙම හමුවේ අරමුණ විය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙහි දී කිසිදු අතයට ගනුදෙනුවක් නොවන බවයි. එහෙත් ඇල්ලේ ගුණවංශ හිමියෝ තමන්ට ලැබී ඇති තොරතුරු රැසක් අමාත්‍යරවයාට ඉදිරිපත් කළහ.

පංචායුද – පොහොට්ටු යුද්ධය

අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කොත්මලේ කැටඹුලාව ගම්මානයේ දී ප්‍රහාරයකට ලක් විය. ‘‘ගම සමග පිළිසඳරක්’’ යටතේ යෝජනා ගැනීම සඳහා රැස්වීමක් කැටඹුලාව කොට්ඨාසයේ පැවැත්වූයේ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි. එහෙත් ඊට පෙර අමාත්‍ය සී.බී. රත්නායකට සහාය පල කරන චාමර සුභාෂිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යෝජනා ගෙන ඇතත් ඊට ගම්වාසීන් විරුද්ධ වී තිබේ. ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා යළි යෝජනා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී ප්‍රහාරය එල්ල විය. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චාමර සුභාෂිත ඇතුළු පිරිසකගෙනි. මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරයි. කෙසේ වෙතත් නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා තමන් මුහුණදුන් අත්දැකීම ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

විමල් අලුත් මගක

මේ අතරේ විමල් වීරවංශ නායකත්වය දෙන දේශපාලන පක්ෂ එකළොහේ නියෝජිතයින් බ්‍රහස්පතින්දා කොළඹ දී රැස්වූයේ කෘති එළිදැක්වීමකටය. ‘‘තෙවැනි මග’’ ලෙස හඳුන්වන මෙම කෘතිය මහා සංඝරත්නයට පිරිනැමුවේ අමාත්‍ය විමල් වීරවංශ විසිනි. මෙම උත්සවයට පක්ෂ එකළොහේ නායකයින් හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිවකු සහභාගි නොවීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් පක්ෂ එකළොහේ නායකයින් සෙනසුරාදා (23 වැනිදා) මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසට රැස් වී ඉදිරි දේශපාලන කටයුතුද පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

මහජන එක්සත් පෙරමුණද ආණ්ඩුවේ සහෝදර පක්ෂ සමග අදහස් හුවමාරු කර ගැනීම අඛණ්ඩව කරගෙන යන්නේ හැංගි හොරාය. ඒ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එකඟත්වය මතය. කෙසේ වෙතත් එවැනි සාකච්ඡා රහසිගතව පැවැත්වීමට මධ්‍යම කාරක සභාව එකඟත්වය පළ කර නොමැත.

බැසිල් බරට වැඩ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වන විට අයවැය යෝජනා ලබා ගනිමින් සිටියි. ධීවර අමාත්‍යාංශයේ අයවැය යෝජනා ලබාගැනීම අරලියගහ මන්දිරයේ දී වූයේ වෘත්තිය සමිතිවලද සහභාගීත්වයෙනි. මෙහි දී ඇමැතිවරයා ධීවර සම්මේලනයේ නිලධාරින් අමතා ප්‍රකාශ කළේ ‘ඔය ගොල්ලො රාජිත ඇමැතිතුමා ධීවර ඇමැති කාලේ උදව් කළා වගේ උදව් කරන්න. හොඳට වැඩ කරන්න.’’ යනුවෙනි. ඊට ධීවර සම්මේලනයේ නියෝජිතයින් එකඟත්වය පළ කළහ.

වියදම් කළමනාකරණ කැබිනට් අනුකාරක සභාව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ ලංකා ස.තො.ස. ආයතනයට ස්ථාවර වත්කම් අත්පත් කරගැනීම සඳහා වන අලුත්ම ක්‍රමවේදයක් සකස් කරන බවයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද සකස් කර තිබුණි. ලංකා ස.තො.ස. ආයතනයට කල්බදු ක්‍රමයෙන් ස්ථාවර වත්කම් ලැබෙන පරිදි එය සකස් කර ඇත. ‘‘එම යෝජනාව හොඳ යෝජනාවක්’’ මුදල් ඇමැතිවරයාද කීවේය. ‘‘මට මේ විදිහට අයවැයට ඇතුළත් කිරීමට අලුත් යෝජනා කිහිපයක් දෙන්න’’ මුදල් ඇමැතිවරයා ඇමැති බන්දුල ගුණවර්ධනට දැනුම් දුන්නේය.

රනිල් තරුණයන්ට අත වනයි

එක්සත් ජාතික පක්ෂය මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ජන්ම දිනය දා ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීමේ වැඩසටහන ආරම්භ කළේය. ‘‘හෙට දකින හෙට හදන පක්ෂය’’ ලෙස එම වැඩසටහන නම් කර තිබුණි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. ඩිජිටල් සාමාජිකත්වය ලබාගත හැකි මෘදුකාංගය සම්බන්ධයෙන් විස්තරයක් පක්ෂ නිලධාරී මණ්ඩලයට මෙහි දී ලබා දුන්නේ දිනුක් කොළඹගේ නමැති තරුණයා විසිනි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ සිය කතාවේ දී ප්‍රකාශ කළේ ‘‘අද මම මෙම පක්ෂය තරුණයින්ට භාර දෙනවා’’ යනුවෙනි.

එජාප නායකයා වසර ගණනාවක් පුරා එවැනි කතා කීවත් එය ප්‍රායෝගිකව ඉටු නොවීය. එනමුත් ඔහුගේ කතාවට තරුණයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත්විණි. එහි දී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ජාතික කාබන් හරණ ප්‍රතිපත්තිය සකස් කිරීම හා ක්‍රියාවට නැංවීමට අදාළ අමාත්‍ය මණ්ඩල ප්‍රතිකාවක් ඉදිරිපත් කර තිබුණි. එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ ‘‘අපි දැනටමත් කාබන් හරණය කරනවනේ’’ යනුවෙනි. ‘‘නැහැ බලශක්ති අමාත්‍යාංශය මටනේ අයිති. මම මෙය ක්‍රියාත්මක කළ යුතුයි.’’ උදය ගම්මන්පිල අමාත්‍යවරයා කීවේය. ‘‘නැහැ පරිසර අමාත්‍යංශයෙන් එය කරයි. කාලය නාස්ති කරන්න එපා’’ මුදල් ඇමැතිවරයා කියා සිටියේය.

සල්ලි දෙන ක්‍රමේ

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනා විවාදයක් පැවැත්වුණේ සමගි ජන බලවේගයේ රන්ජිත් මද්දුම බන්ඩාර මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මතය. එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චි කරුණු දක්වමින් සිටියේය. ‘‘ජනාධිපතිතුමාගේ කාබනික පොහොර ව්‍යාපෘතියට අනුව හෙක්ටයාරයකට රුපියල් තිස්හයදහසක් ගොවීන්ට අපි ලබා දෙනවා. දියර පොහොර, බන්ඩි ගොයමට හා කොම්පෝස්ට් පොහොර හදන්න රුපියල් දොළොස්දහස් පන්සීයක්ද ලබා දෙනවා.’’ යනුවෙන් කියන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිංස් නෙල්සන් ඊට බාධා කළේය. ‘‘මන්ත්‍රීතුමා කොම්පෝස්ට් හදන්න දොලොස්දහස් පන්සීය දෙන්නෙ කොහොමද?’’ යනුවෙන් විමසීය.

‘‘අයියෝ මන්ත්‍රීතුමා ඒක දන්නෙ නැද්ද? දාහේ කොළ දොළහයි. පන්සීයේ කොළයයි දෙන්නේ’’ යනුවෙන් ජානක තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අඟට පතට නොදැනීමෙනි.