NEWS

ලංකාවට බලෙන් ණය දෙන අය පාලනයට ඇමරිකානු ජනපති සූදානම්

ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් ණය ලබාදෙන පාර්ශ්ව සහ නොපැහැදිලි කොන්ත්‍රාත් ගිවිසුම් පාලනය කිරීම සඳහා විකල්පයන් සැපයීමට තමා ඉදිරියේදී මැදිහත් වන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු නව තානාපතිවරිය ලෙස නම් කර ඇති ජුලි චුන්ග් ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හෙළිකරමින් පවසා ඇත්තේ ලංකාව සමග ඵලදායී සබඳතා තවදුරටත් ගොඩනගා ගන්නා ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි. ජුලි චුන්ග් පෙරේදා (20 වැනිදා) පැවැති කොංග්‍රස් මණ්ඩල රැස්වීමේ දී සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ සාමාජිකයන්ට පෙන්වා දී ඇත්තේ ලංකාව ඉන්දියන් සාගරයේ හදවත බඳු උපායමාර්ගික ස්ථානයක ස්ථානගත වී ඇති බැවින් ගෝලීය සමුදුරු මංතීරු සහ වෙ‍ළෙඳ මාර්ග වෙත ප්‍රවේශ වීම සඳහා එහි තීරණාත්මක වරාය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවය.

ඇමරිකා එක්සත් ජනපදයේ සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ ලාංකික ජනතාව ඇතුළුව ලංකාව සමග ඵලදායි සබඳතා ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව තහවුරු කරන බව ද ඇය එහිදී පවසා ඇත. ලංකාවේ තිරසාර පාරිසරික හා කම්කරු ප්‍රමිති, විනිවිදභාවය, අන්තර්ජාතික නීතියට ගරු කිරීම සහ යහපාලනය මත පදනම් වූ ගුණාත්මක යටිතල පහසුකම් හා ආයෝජනය පිළිබඳව තමා කැපවී කටයුතු කරන බව ද ඇය එහිදී සඳහන් කර තිබේ. විශේෂයන්ම බලහත්කාරයෙන් ණය දීම සහ විනිවිද නොපෙනෙන කොන්ත්‍රාත් සඳහා විකල්පයන් සැපයීම සඳහා ඇමරිකාව සතුව ඇති මෙවලම් උපයෝගී කරගනිමින් ලංකාවේ ව්‍යාපාර කරන එක්සත් ජනපද සමාගම්වලට සහයෝගය දැක්විය යුතු බවද ඇය අවධාරණය කර තිබේ.