NEWS

අපි ආවේ නෑ කියලා පුලුවන්නම් අපේ වැටුප අත්හිටුවලා පෙන්නන්න

අදත් හෙටත් වර්ජනයේ යෙදෙන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් හැකි නම් අත්හිටුවන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේට අභියෝග කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය.

සැලසුම් කළ පරිදි මෙම දින දෙකේ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවත් වහසි බස් දොඩමින් එම ක්‍රියාමාර්ගය නතර කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීවේය.

ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයවීමෙන් කොළඹ ගුරුමැදුර ශාලාවේ ඊයේ (20 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.
“රාජා කොල්ලුරේ කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති නෙමෙයි. ඒ පක්ෂය දැන් නොමිනිස් පක්ෂය වෙලා. ගුරුවරුන්ට 25 වැනිදා පාසල් එන්න නුදුන්නොත් කරන දේ බලා ගන්න පුළුවන්” යැයි ද කී ඒ මහතා සමස්ත ගුරුවරුන් සමග කරන අරගලයේ බලය මේ දින දෙකේ බලා ගැනීමට හැකි වන බවත් කීවේය.

මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ගුරුවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ ටැබ් යන්ත්‍රයක් මෙන්ම ඩේටා පැකේජයක් ලබාදීම අත්‍යවශ්‍ය යැයිද ඊට අමතරව මාර්ග ගත පහසුකම් නොමැති සියලු දරුවන්ට එම පහසුකම් ලබා දිය යුතු යැයි ද මාධ්‍ය හමුවට එක් වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය. දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ එම කොන්දේසි ඉටු කළහොත් පමණකැයි ද කීවේය.