NEWS

ඉන්දියාවෙන් ආනයනය කරන පොහොරවල පේටන්ට් බලපත්‍රය තියෙන්නේ අපේ රටටලු

ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීමට නියමිත නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද නයිට්‍රිජන් දියර පොහොර වල පේටන්ට් බලපත්‍රය මෙරට විද්‍යාඥයන් පිරිසකට අයත් එකක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ පැවසීය.

එම බලපත්‍රය ඉන්දීය සමාගම මිලදී ගත් බවත් නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂ 22 ක් ඉන්දියාවේ, ගුජරාට් ප්‍රදේශයේ පිහිටි එම සමාගමෙන් මෙලෙස ආනයනය කරන බවත් ලේකම්වරයා කීවේය.

මුලින්ම නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් පළමු තොගය ලෙස ගුවනින් ආනයනය කිරීමට නියමිතය. එම තොගය හෙට (19 වැනිදා) මෙරටට ලැබීමට නියමිතව ඇත. මුල්ම තොගය අම්පාර දිස්ත්‍රික්කයට ලබාදීමට කටයුතු කරන බව ලේකම්වරයා පවසයි.

පොහොර තොගය ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු අද (18 වැනිදා) දිනයේදී සිදු කිරීමට ද නියමිතය. ගුවන් යානයෙන් දියර පොහොර ආනයනය කිරීමේදී අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුළු කාරණා රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.

දියර පොහොර සඳහා ඉතාමත් සාධාරණ මිලක් ලබාදී තිබෙන බවත්, නයිට්‍රිජන් දියර පොහොර සඳහා වැය කෙරෙන්නේ රුපියල් බිලියන නවයක් පමණක් බවත්, යූරියා ආනයනය කිරීම සඳහා පමණක් පසුගිය කාලයේදී රුපියල් බිලියන 31 ක් වැයවූ බවත් ඔහු සඳහන් කළේය.

වී වගාව සහ බඩ ඉරිගුවලට අවශ්‍ය දියර පොහොර යූරියාවලට සමානුපාතිකව ගෙන්වන අතර යූරියා කිලෝග්‍රෑම් 45 ක ඇසුරුමකින් ලබාදුන් නයිට්‍රිජන් ප්‍රමාණය, මෙම දියර පොහොර මිලි ලීටර් 500 කින් ලබාදෙන බවද කියයි. ආනයනය කරන දියර පොහොර වල සාම්පල ඉන්දියාවේ සේම ලංකාවේද පර්‌යේෂණාගාර වල පුළුල් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒවායෙහි බැර ලෝහ, අපද්‍රව්‍ය, ශුද්‍ර ජීවීන්, බැක්ටීරියා අඩංගු නොමැති බව අනාවරණය වී තිබෙන බවත්, යූරියා පොහොර වලට වඩා ඉතා සාර්ථක අස්වැන්නක් මෙම නයිට්‍රිජන් දියර පොහොරවලින් ලබාගත හැකි නිසා ගොවීන් ඒ පිළිබඳව කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවද ලේකම්වරයා පැවසුවේය.
මෙම නයිට්‍රිජන් දියර පොහොර ශාකයට යෙදූ පසුව ශාකය ඉතා ඉක්මණින් උරා ගන්නා, ඉතා කාර්යක්ෂමතාවකින් යුතු, ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන හොඳම වර්ගයක් බවද ඉන්දියාවේ කාබනික ගොවිතැන් කටයුතු පමණක් කරනු ලබන සිකීම් ප්‍රාන්තයේ භාවිත කරන්නේද මෙම නිෂ්පාදන බවද ලේකම්වරයා සඳහන් කරයි. මෙම පොහොර වර්ගය මෙරට කාලගුණික සාධක සමග ද ගැලපෙන බව පවසයි. ඒ බව පර්‌යේෂණ වලින් තහවුරු වී ඇතැයිද කීවේය.

නයිට්‍රිජන් දියර පොහොර සමග පොස්පරස් සහ පොටෑසියම් නිසියාකාරව යෙදීම මගින් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බවද ඔහු සඳහන් කරයි. පරිසර හිතකාමී කෘෂිකර්මය අනුගමනය කිරීමේදී මෙවැනි ශාක පෝෂක ඉතා වැදගත් බව ඔහු කියා සිටී.

පොටෑසියම් පොහොර ලෙස ස්වාභාවික ඛනිජ අඩංගු මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) (රතු කැට පොහොර) කඩිනමින් බෙදාහැරීමට නියමිතය.