NEWS

යුගදනවි ගැන ආණ්ඩුවේ පක්ෂ 11 ක් ඉල්ලූ සාකච්චාව ජනපති ප්‍රතික්ෂේප කරයි

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමෙරිකා සමාගමක් සමග අත්සන් කරන ලද ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහාය දෙන පක්ෂ එකොළහක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇත.

විෂය පිළිබඳ විශේෂඥයින් සහභාගි කරවාගනිමින් මෙම සාකච්ඡාව ඉල්ලා දේශපාලන පක්ෂ නායකයින් සැප්තැම්බර් මස 21 වැනි දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරන ලදී.

ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කළ යුතු බවත් විධිමත් අධ්‍යයනයකින් පසු විධිමත් ටෙන්ඩර් පටිපාටියක් යටතේ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් දේශපාලන පක්ෂ එකොළහක නායකයින් ලිපියෙන් යෝජනා කර තිබුණි. එහෙත් ජනාධිපතිවරයා එම දේශපාලන පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කරන ලෙසයි. දේශපාලන පක්ෂ නායකයන් මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීම සඳහා ලබන සෙනසුරාදා (23 වැනිදා) රැස්වීමටද නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ක්‍රොන්ග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂවල නායකයින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට අත්සන් කර තිබුණි