NEWS

වැඩට එන ගුරුවරු රකින්න දෙමව්පියන්ගෙන් වෙනම බල ඇණියක්

විසිඑක් වැනිදා පාසල් ආරම්භ කළ පසු වර්ජනය නොතකා සේවයට එන ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දිවයින පුරා පාසල් දෙමාපිය සංගම් සහ ආදි ශිෂ්‍ය සංගම් සූදානම් වන බව අනාවරණය වේ.
ගුරු වර්ජනය නිසා තම දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමෙන් කනස්සල්ලටත්, අසරණභාවයටත් පත් දෙමාපියන් ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන මේ වන විටත් සංගම් වශයෙන් රැස්ව සාකච්ඡා පවත්වමින් සිටින බව දැන ගන්නට ඇත.

ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් සහ දෙමාපිය සංගම් මගින් තම දරුවන්ට මාර්ගස්ථ ක්‍රමයට ඉගැන්වීමට අවශ්‍ය ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක ආදිය ලබා දී තිබියදීත් ගුරුවරුන් කොරෝනා වසංගතය මධ්‍යයේ වර්ජනය කරමින් දරුවන් නොසලකා හැරීම ගැන තම පසුතැවීම ප්‍රකාශ කරති. තුන්වැනි කොරෝනා රැල්ලට පෙර පාසල් ආරම්භ කළ මොහොතේ සේවයට පැමිණි ගුරුවරුන්ට ගුරු සංගම් වෙතින් තර්ජනය එල්ල වීමත්. වර්ජනය නොතකා ඔන්ලයින් අධ්‍යාපනයේ යෙදුණු ගුරුවරුන් එයින් වැළැක්වීමට ගුරු සංගම් ක්‍රියා කිරීමත් නිසා මෙබඳු ආරක්ෂක ක්‍රියාදාමයක් ගැනීමට දෙමාපිය සහ ආදි ශිෂ්‍ය සංගම් පෙලඹී ඇත. එසේම ගුරුවරුන් ඔන්ලයින් වර්ජනය කරද්දී ඇතැම් ආදි ශිෂ්‍ය සංගම් සුසුදුකම් ලත් තම ආදි ශිෂ්‍යයන් ලවා ඔන්ලයින් ඉගැන්වීමට උත්සාහ කළත් ඊට ද ගුරු සංගම් විරෝධය පළ කළ බව දෙමාපියෝ පවසති.

‘‘දැනටමත් ගුරු සංගම් වර්ජනය නොතකා ඇතැම් ගුරුවරු ඔන්ලයින් ක්‍රමයට අපේ දරුවන්ට උගන්වනවා. බොහොම දෙනෙක් රහසේ ඒ වැඩේ කරන්නේ. වර්ජනය නොතකා දරුවන්ට උගන්වන්න එන ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව ඉදිරිපත් වෙන්න ඕනෑ. කොරෝනා තුන්වැනි රැල්ල පැතිරෙද්දී ලෝකෙම සෞඛ්‍ය අංශ අනතුරු අඟවද්දී ගුරු සංගම් පෙළපාළි ගියා. පාද යාත්‍රා ගියා. ආණ්ඩුව බලාගෙන හිටියා. ඒ ගොල්ලෝ පෙළපාළි නැවැත්තුවේ ජනතාවගෙන් ආව පිළිකුල, අප්‍රසාදය නිසා. එහෙම වුණත් වැඩට එන ගුරුවරුන්ට තර්ජනයක් එල්ල වුණොත් ආණ්ඩුවත් ආරක්ෂාවට එයිද කියන්න බෑ. ඒ නිසා අපේ දරුවෝ වෙනුවෙන් උගන්වන්න එන ගුරුවරු රැක ගන්න එක අපේ වගකීමක්. යැයි දෙමාපිය සංගම් පවසයි