NEWS

එක මනුස්සයෙක්ට මාසයක් ජීවත් වෙන්න 5353 ක් හොඳටම ඇතිලු

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවසන් වරට නිකුත් කර ඇති (2021 අගෝස්තු) දත්තවලට අනුව එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව දැරීමට වන අවම වියදම රුපියල් 5,353කි . ඒ අනුව 4 දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් 21,500 ක මාසික ආදායමකින් දරිද්‍රතාවයට පත් නොවී ජීවත් වීමට හැකිබව කියයි.

කෙසේවෙතත් මෙය යල්පැන ගිය දර්ශකයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ ‘අරුණට’ පැවසීය. ශ්‍රී ලංකාව දරිද්‍රතාවය මනිනු ලබන්නේ 2000 වසරේදී අත්‍යාවශ්‍ය යැයි සලකනු ලැබූ භාණ්ඩ පැසක් අනුව බවත්, වසර 20 කට පසු අද වන විට එම අත්‍යාවශ්‍ය භාණ්ඩ පැස අනිවාර්යයෙන් වෙනස්විය යුතු බවත් ආචාර්ය දුනුසිංහ සඳහන් කළේය.

“ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මේ වර්ෂයේ අගෝස්තු මාසයේ දත්ත අනුව සිව්දෙනෙක්ගෙන් යුතු සාමාන්‍ය පවුලකට දරිද්‍රතාවට නොවැටී සිටීමට නම් අවම වශයෙන් මාසෙකට රුපියල් විසිඑක්දාස් පන්සියයක ආදායමක් පැවතිය යුතු වෙනවා. විශේෂයෙන්ම වසංගතයත් එක්ක ආදායම් මාර්ග අහිමිවෙලා තියෙන, රැකී රක්ෂා අහිමි වෙලා තියෙන පිරිසට ඒ මිල ඉහළ යාම ඉතාමත්ම දරුණු විදියට බලපානවා. ඒ බලපෑම රජය කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද කියන කාරණය අද සමාජය හමුවේ තිබෙන ප්‍රධාන ගැටලුවක්.

දෙදාහ වසරේ දී අත්‍යවශ්‍ය යැයි සැලකෙන භාණ්ඩ හා සේවා තොගයක් සම්බන්ධයෙන් තමයි මේ විසිඑක්දාස් පන්සියය ගණනය කරන්නේ.අද වසර 20කට පසු ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩ පැස මීට වඩා සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය වන්නාවූ භාණ්ඩ පැස ලබා ගැනීම සඳහා ඇත්තටම රුපියල් තිස්දාහක පමණ ආදායමක් ලැබිය යුතු වෙනවා. ” යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.