NEWS

“අපි නම්‍යශීලී වුනාට වැඩක් නැහැ.ආණ්ඩුව නම්‍යශීලී නැහැ “

ගත කළ යුත්තේ දින සියය ද එකසිය පනහ ද යන්න අදාළ නොමැති බවත් ජයග්‍රහණයෙන් මෙපිට අරගලය නිමා නොකරන බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසීය.

වැටුප් විෂමතාවට විසඳුම් වශයෙන් ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ස්ථාවරයා දැනුම් දීම සඳහා කොළඹ 2 ගුරුමැදුර ශාලාවේ ඊයේ (13 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ ඒ මහතා අදියර දෙකක් යටතේ විෂමතා ඉවත් කිරීමේ ආණ්ඩුවේ යෝජනාව කිසිසේත් පිළිගත නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

“අපි ඊයේ අරලියගහමන්දිරයේ සාකච්ඡාවට සහභාගි වුණේ ආණ්ඩුව දෙන එක අරං එන්න නෙමෙයි. ඒ බව අගමැතිවරයා, ඇමැතිවරු ඇතුළු නිලධාරීන් ඉදිරියේ කිව්වා. කැබිනට් මණ්ඩලයේ තීන්දුව ඒ ආකාරයෙන්ම භාර ගන්න නම් අපි අරලියගහමන්දිරයට යන්න අවශ්‍ය නැහැ’’ යැයි පැවසූ ඔහු “වෘත්තීය සමිති නම්‍යශීලී වුණා. නැමෙන්න පුළුවන් උපරිමය නැමුණා. නමුත් ආණ්ඩුව පාර්ශ්වයෙන් අපි දැක්කේ නැහැ නම්‍යශීලීතාවක්. අදියර තුනේ සිට අදියර දෙකේ යෝජනාවට එන්න පැය තුනහමාරක් ගතවුණා” යැයි කීවේය.

ලබා දීමට යෝජිත වැටුප එක් වර ලබා දෙන ලෙස ඉල්ලා සිටි නමුත් අවසානයේදී ප්‍රකාශයට පත් කළේ අදියර දෙකකින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යැයිද කී ඒ ඔහු මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම ප්‍රමාද කිරීම බලපාන්නේ හතළිස් තුන් ලක්ෂයක් වන පාසල් දරුවන්ට මෙන්ම ඊළඟට මේ පාසල් පද්ධතියට ඇතුළු වෙන්න ඉන්න දරුවන්ට බව ද ඒ නිසා තවදුරටත් මේ ප්‍රශ්නය දිග්ගස්සමින් කටයුතු නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය