NEWS

අපි හා කිව්වෙත් නෑ . බෑ කිව්වෙත් නෑ අන්තිම තීරණය ගන්නේ අද – ගුරු සංගම් කියයි

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරන්නේ ද නැද්ද තීරණය ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (13 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සිය තීරණය අද ලබා දෙන බව වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ අගමැති මහින්ද රාජපක්ෂ සමග පැය තුනක පමණ කාලයක් අරලියගහමන්දිරයේ ඊයේ (12 වැනිදා) පැවති සාකච්ඡාවෙන් පසුව ය.

අදියර දෙකක් යටතේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ අවසන් තීරණය අගමැති මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති නියෝජිතයන්ට ලබා දුන්නේ ය. එම තීරණය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව හෝ විරෝධතාව පළ නොකර සාකච්ඡාව අවසන් කළේ තීරණය අද දන්වන බව සඳහන් කරමිනි.
පෙරේදා (11 වැනිදා) පැවති කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබුණේ අදියර තුනකින් විෂමතා ඉවත් කිරීමට ය. එම තීරණය මෙම සාකච්ඡාවේ දී ද ඉදිරිපත් කෙරුණු නමුත් ඒ සඳහා වෘත්තීය සමිති නියෝජිතයෝ දැඩි විරෝධය පළ කළහ. අගමැතිවරයා විසින් ඉහත තීරණය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉන් පසුවය.

එම තීරණය සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13 වැනිදා) පෙරවරුවේ රැස් වී සාකච්ඡා කර තීරණය ප්‍රකාශයට පත් කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම, පරිසර ඇමැති මහින්ද අමරවීර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මුදල් හා අධ්‍යාපන යන අමාත්‍යාංශවල නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීෂ්වර විමලරත්න, ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ, ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ වසන්තා හඳපාන්ගොඩ ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අගමැතිවරයා සමග පෙරේදා (11 වැනිදා) ද මේ සම්බන්ධයෙන් සාකකච්ඡා කළ අතර උන්වහන්සේ ඊයේ (12 වැනිදා) පැවති සාකච්ඡාවට ද එක් වූහ.