NEWS

පාන් මිලත් රුපියල් 5 කින් වැඩි වෙයි ?

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල ද රුපියල් දහයකින් අද (11 වැනිදා) සිට ඉහළ යාමට නියමිතය. එම සමාගම් රජයෙන් ඉල්ලා ඇත්තේ කිලෝග්‍රෑමයක් රුපියල් විස්සකින් වැඩි කිරීමට ය.

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ දැමුවහොත් පාන් රාත්තලක් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත්, ගෑස්, කිරිපිටි මිල ගණන් ඉහළ යෑම හමුවේ බේකරි හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.

නව මිල සංශෝධනයේදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 800කට ආසන්න මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරියෙක් ‘‘අරුණට’’ පැවසීය. මේ වන විටත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1300ක පමණ අලාභයක් සමාගම ලබන බැවින් පාරිභෝගිකයන්ට එකවර එම බර නොපටවා අවම තරමින් රුපියල් 800කට ආසන්න මුදලකින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා සමාගම කටයුතු කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ වර්ෂය ආරම්භයේදී ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව රුපියල් පන්සීය පනහක මිල වැඩි කිරීමක් අපි රජයෙන් ඉල්ලුවා. නමුත් එම ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එවකට ඩොලර් හයසියේ සිමාවේ තිබුණු ලෝක වෙළෙඳපොලේ ගෑස් ටොන් එකක මිල දැන් ඩොලර් අටසීය ඉක්මවලා තියෙනවා. එම නිසා මේ වන විට ලිට්රෝ සමාගමට එක ගෑස් සිලින්ඩරයකින් රුපියල් එක්දාස් තුන්සීයක විතර පාඩුවක් ලබනවා. ඒ කියන්නේ ලාභයකින් තොරව වියදම පමණක් පියවා ගැනීම සඳහා සිලින්ඩරයක මිල රුපියල් දෙදහස් අටසීය දක්වාවත් අවම තරමින් වැඩිකළ යුතුයි. එත් පාරිභෝගිකයන්ට එකවර එම බර පැටවීමට නොහැකියි. එම නිසා මුල් පියවර ලෙස රුපියල් අටසීයයකට ආසන්න මුදලකින් මිල වැඩිකළ යුතුයි. මිල වැඩිකළ ගෑස් සිලින්ඩර හෙට (12 වැනිදා) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නවා. යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සැපයුම් ක්‍රියාවලිය වෙනස් කිරීම මගින් දැනට පවතින වියදම් අඩුකර ගනිමින් ගෑස් මිල පාලනය කිරීමට ලිට්රෝ සමාගම පියවර ගනිමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.