NEWS

ලියාපදිංචියක් නැති දේපොළ 68,000ක් කොළඹ නගරයේ ඇති බව හෙළිවේ

කොළඹ නගර සීමාවේ පවතින ඉඩම් හා නිවාස ඇතුළු දේපළ 68,000කට අධික සංඛ්‍යාවක් මෙතෙක් ලියාපදිංචි කර නොමැති බව ‘අරුණ’ කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

කොළඹ නගර සභාව විසින් සිය නගර සීමාවේ පවතින දේපළ සම්බන්ධයෙන් පළකර ඇති වෙබ් පිටුවේ මෙලෙස ලියාපදිංචි කර නොමැති දේපළ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පළකර තිබේ. එම වාර්තාවට අනුව කොළඹ නගර සභා බල සීමාවන්ට අයත් නාගරික කොට්ඨාස 47කට මෙතෙක් ලියාපදිංචි නොකළ සම්පූර්ණ දේපළ සංඛ්‍යාව 68,064කි.

මේ අතරින් වැඩිම ලියාපදිංචි නොකළ දේපළ සංඛ්‍යාවක් පතින්නේ මහවත්ත කොට්ඨාසයේය. එම සංඛ්‍යාව 6095කි. ඉන් අනතුරුව කොටුව කොට්ඨාසයේ දේපළ 5486ක්, මට්ටක්කුලිය දේපළ 4559ක්, දෙමටගොඩ 2305ක් ආදී වශයෙන් ලියාපදිංචි නොකළ දේපළ පවතී.

මේ අතර කොළඹ මහ නගර සභාවේ වරිපනම් ලේඛනයේ මෙතෙක් අයිතිය ලියාපදිංචි කර නොමැති දේපළවල හිමිකාරීත්වය දරන අයිතිකරුවන් තම දේපළවල හිමිකම තහවුරු කිරීම අනිවාර්ය බව එම නගර සභාව නිවේදනය කර ඇත. ඒ අනුව 2021 නොවැම්බර් 30 වැනි දිනට පෙර එම ලියාපදිංචි කිරීම සිදුකර ගැනීම අනිවාර්ය වේ. 2022 වරිපනම් ගෙවීම් ලදුපත් හිමිකරුගේ නමින් නිකුත් කිරීම සඳහා මෙම ලියාපදිංචිය අනිවාර්ය බව මහ නගර සභාව ප්‍රකාශ කරයි.