ARTICLES

” මහ රෑ 12 ට බස් එකේ නැගලා පිටකොටුවෙ හැම කඩේකම ඇවිද්දා..මුල් කාලේ කඩවල් වලට කෑමත් දැම්මා” – දිරියෙන් ජයගත් ව්‍යාපාරික කාන්තාව

ව්‍යාපාරයක් ආරම්භ කර දහස් ගණනකට රැකියා අවස්ථා ලබාදීමට හැකි නම් එය රැකියාවක් කර මුදල් උපයනවාට වඩා උතුම් අරමුණකින් සමාජයට සිදුකෙරෙන සේවයකි.

විවිධ ආයතන වලට අවශ්‍ය ආරක්ෂක සේවකයන් මෙන්ම පිරිසිදු කිරීම් කරන්නන් සපයන “Panchali මෑන් පවර් ආයතනය ”  දිස්නා ගලප්පත්ති මහත්මිය ගේ අදහසට නිර්මාණය වූවක්.

එදා එක් සේවකයෙකුගෙන් ආරම්භ කළ Panchali මෑන් පවර් ආයතනය  අද වන විට  700 -750 කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා උදාකර දී තිබෙනවා.

එහෙත් ,සාර්ථකත්වය ළඟා කර ගැනීම වෙනුවෙන් ඇය දැරූ වෙහෙස මහන්සිය තවමත් ඇයට එදා මෙන්ම මතකය.

” මම වැටෙන්න වැටෙන්න උත්සාහය නිසාම නැගිට්ටා. මුල් කාලේ කඩවල් වලට කෑම හදලා දැම්මා .කාන්තාවක් නිසාම මට ගොඩක් අය පහර ගැහුවා .මම ඒවා ගණන් ගත්තෙ නැහැ. අද මගේ ව්‍යාපාරය කොළඹ ,බදුල්ල ,හම්බන්තොට වගේම නැගෙනහිර පළාත පුරා පැතිරිලා තියෙනවා. ”

කාන්තාවකගේ මොළෙහි තරම හැඳි මිටේ දිග හා සමාන බව කියන සාම්ප්‍රදායික මති මතාන්තර බිඳ හෙලමින් ,ඇය පිරිමින් හා හරි හරියට එකට ගැටෙයි.

” මගේ අම්මා දේශපාලනඥයෙක් . මිනිස්සු ඇවිල්ලා මගේ අම්මගෙන් රැකියා ඉල්ලනවා දැකලා තමයි මේ ව්‍යාපාර ආයතනය පටන් ගන්න අදහස් ආවෙ ”

Panchali මෑන් පවර් ආයතනයේ අධිපතිනිය දිස්නා ගලප්පත්ති මහත්මිය අදටත් විශ්වාස කරන දෙයක් තිබේ..

ඒ ආගම දහමට ළැදිව කටයුතු කිරීම තමාට ලොකු ශක්තියක් වන බවයි.

ඇය ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවිකාවක්. තමා උපයන මුදලින් පින් දහම් කිරීමට නම් ඇය අමතක කරන්නේ නැහැ.තම වකුගඩුවක් පවා දන් දුන් ඇය සිය උපන්දිනයට ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් සිදු කරන්නේ ක්‍රියාවෙනුත් නායකත්වයට ඇය සුදුසු බව විදහාපාමින්.

ආයතනයක ප්‍රධානියා තුළ තිබිය යුතු නිහතමානී කම මෙන්ම මානුෂීය හැඟීම , ඇයව මෙතරම් ඉහලට රැගෙන එන්නට සමත් වී තිබෙනවා .

ඒ බවට කදිම නිදසුනක් වන්නේ ඇගේ සේවක සේවිකාවන් ගැන ඇය දරන ආකල්පයයි.

ඇය තමන් යටතේ වැඩ කරන සේවකයන් පිළිබඳව දරන්නේ මෙවන් අදහසක්.

” මට අවංක සේවකයන් පිරිසක් ලැබුණා . ඒක මගේ වාසනාව ”

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහලට පැමිණීමේ දී ඇය මුහුණ දුන් අසීරුතම අවස්ථාන් බොහොමයි. ව්‍යාපාරය ආරම්භ කිරීමේ දී මෙන් ම පවත්වාගෙන යාමේදී ද ඇය විවිධ අභියෝගවලට මුහුණ පෑවා. තම ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සොයා ගැනීම ඇය මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් .

” ව්‍යාපාරයක් කරනකොට මූල්‍යමය වශයෙන් හැලහැප්පීම් එනවා .මාව විශ්වාස කරලා මගේ ව්‍යාපාරයට මුදල් දුන්නේ සෙලාන් බැංකුව .සෙලාන් බැංකුව කියන්නේ මගේ මහගෙදර වගේ .2003 ඉඳන් මම ගනුදෙනු කරනවා .දුකේදී පිහිට වෙන එක තමයි වටින්නේ. සෙලාන් බැංකුව අපිව දුකේදී අමතක කරේ නැහැ. මම මේ තැන ඉන්න එකට සෙලාන් බැංකු වත් ලොකු හේතුවක්. ”

ඇය ඒ බව පවසන්නේ බොහොම සංවේදී ව .ඒ ලැබූ පන්නරය හේතුවෙන්ම අද වන විට ඇය ව්‍යාපාර ලොව ඉහළම ස්ථානයක සිටිනවා.