NEWS

කලින් කියන්නෙ නැතුව ලොක්ඩවුන් කරපු නිසා ගොවියෝ අමාරුවේ වැටුනා

කලින් නොදන්වා රට එකවර වසා දැමීමෙන් විශාල ලෙස එළවළු සහ පළතුරු අස්වනු විනාශ වී යන බව එළවළු සහ පලතුරු වෙළෙඳ සල් හිමියෝ මැසිවිලි නගති.

ඔවුන් පවසන්නේ, බොහෝ පළතුරු වර්ග සහ එළවළු මෙලෙස සිය අලෙවිසල් තුළ ම විනාශ වී අස්වනු අපතේ යාමෙන් තමන්ට දැරිය නොහැකි පාඩුවක් සිදුවන බවය.

එමෙන් ම, තමන් නෙළා ගත් අස්වනු නිසි කලට අලෙවි කර ගත නොහැකි වීමෙන් අස්වනු අපතේ යන බවට ගොවියෝ ද මැසිවිලි නගති.

මේ අතර, කිසිදු පෙර සූදානමකට ඉඩ නොතබා ම එකවර ම රට ‘lockdown’ කරන බවට ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඉදිරියේදී එළවළු හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අනතුරු අඟවයි.

කිලෝ ගණනින් එළවළු හා පලතුරු ඉවත දමමින් මේ විනාශ කරනුයේ, රටේ ජාතික සම්පත් හා ජාතික ධනය බව ‘මව්බිම’ වෙත අදහස් දක්වමින් පෙන්වා දෙන ඒ මහතා අවධාරණය කරනුයේ, මෙසේ එකවර ම රට සම්පූර්ණයෙන් වසා දැමීමට ගන්නා තීරණ තුළින් පාරිභෝගිකයාට මෙන් ම එළවළු ගොවීන්ට ද විශාල අසාධාරණයක් සිදුවන බවය.

රට වසා දැමීමට අවශ්‍ය නම් එය දින දෙකකට පෙරවත් පැවසිය යුතු බවත් එවිට ගොවීන්ට අස්වනු නෙළාගෙන අලෙවි කර ගැනීමට කාලයක් පවතින බවත් පාරිභෝගිකයන්ට කඩිමුඩියේ තම අවශ්‍යතා මිල දී ගැනීම වෙනුවට කල් ඇතිව තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීමට කාලය ලැබෙන බවත් ඔහු පැවසීය.