NEWS

සිමෙන්ති මිලත් වැඩි කරන්නැයි ඉල්ලීමක්

කිලෝග්‍රෑම් 50ක් බරැති සිමෙන්ති ඇසුරමක මිල රුපියල් 100-200ත් අතර මුදලකින් වැඩිකරන ලෙස සිමෙන්ති ආනයන හා නිෂ්පාදන සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා තිබේ.

සිමෙන්ති මිල පාලනයට යටත් භාණ්ඩයකි. සිමෙන්ති කොට්ටයක් අලෙවි කළ යුතු මිල වන්නේ රුපියල් 950කි. නමුත් දේශීය වෙළෙඳපොළේ සිමෙන්ති හිඟයක් මතු වී තිබේ. ඊට හේතුව ලෙස කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ මිල ඉහළ යාම නිසා සිමෙන්ති කුඩු ආනයනය කිරීමට නොහැකි වීමයි. දේශීය වශයෙන් සිමෙන්ති නිෂ්පාදන සමාගම් දෙකේ සේවකයන් කොවිඩ් ආසාදනය වීම නිසාද නිෂ්පාදන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත.

සිමෙන්ති හිඟය හේතුවෙන් ඉඳිකිරීම් ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක්ද එල්ල වී තිබේ. ඇතැම් වෙළෙඳසල් සිමෙන්ති සඟවා වැඩි මිලට විකිණීමේ ජාවාරමක තොරතුරුද අනාවරණය වී ඇත.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ අයෙකු නාරම්මල පොලිසිය මගින් සිය භාරයට ගෙන ඉදිරි නෛතික කටයුතු සඳහා පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට යොමුකිරීමට කටයුතු කළේය. එසේ පොලිස් භාරයට ගැනුණේ නාරම්මල බිහල්පොළ ප්‍රදේශයේ අයෙකි. මෙම ව්‍යාපාරිකයා සිමෙන්ති විශාල ප්‍රමාණයේ ලොරියකින් රැගෙනවිත් සිය ආයතනය ඉදිරිපිටදී රුපියල් එක්දහස් තුන්සියයකට අලෙවි කරන බවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ප්‍රිය හේරත්ට තොරතුරක් ලැබී ඇත. මන්ත්‍රිවරයා පොලිසිය හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කැඳවා ඒ පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා තිබේ.

ඒ අනුව සිමෙන්ති අධික ලාභයක් තබාගෙන අලෙවිකරන බවට අදාළ නිලධාරීන් තහවුරු කරගෙන ති​බේ.