NEWS

ලොව ප්‍රථම වරට ඩෙල්ටා විකෘති තුනම සහිත ආසාදිතයින් කොළඹින් හමුවේ

ජාන විකෘති 3ක් සහිත කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ලොව ප්‍රථම වතාවට වාර්තා වන රට, ශ්‍රී ලංකාව බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ, මෙරට ව්‍යාප්තව ඇති කොරෝනාවෛරසය පිළිබඳව සිදු කරන ලද නවතම ජාන විශ්ලේෂණය අනුව ඒ බව තහවුරු වුණු බවය.

එම පර්යේෂණය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනාවෛරස් ආසදිතයින්ගේ ජෛව සාම්පල 88ක් ලබා ගත් බවත් ඉන් 84 දෙනෙක් ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බවට හඳුනාගත් බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඔහු අවධාරණය කළේ, අදාළ විශේලේෂණය සිදු කිරීමේදී කොළඹ නගරයට විශේෂ අවධානයක් යොමු කළ බවය.

එහිදී කොළඹ නගරය සහ තදාසන්න සෑම ප්‍රදේශයකින් ම පාහේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සිටින බවට තහවුරු වුණු බව ඒ මහතා පැවසීය.

ඊට අමතරව වවුනියාව, රත්නපුර, ගම්පහ, මාතලේ, නුවරඑළිය, නුවර ආදී ප්‍රදේශවලින් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනා ගත් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙරටින් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුන ම හඳුනා ගෙන ඇත්තේ කොළඹ නගරය තුළින් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව, කොළඹ නගරය තුළ එම විකෘතිතා තුන ම ප්‍රමුඛත්වය ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ඉන් එක් විකෘතියක් වන A701S විකෘතිය හඳුනා ගෙන ඇත්තේ, ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාවෙන් පමණක් බවය.

අනෙක් විකෘතිය වන A1078S විකෘතිය ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් හඳුනා ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය. සෙසු විකෘතිය වන A222V ලොව පුරා බොහෝ රටවල් තුළින් හඳුනා ගෙන ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

එමෙන් ම ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, A222V විකෘතිය සහිත ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වැඩි බව මූලික අධ්‍යනයනවලින් සනාථ වී ඇති බවය.

ඒ අනුව, අදාළ විකෘති කොවිඩ්-19 රෝගයට ඇති කරන බලපෑම, වෛරසයේ ක්‍රියාකාරිත්වය, එන්නතෙන් ලබා ගත් ප්‍රතිශක්තියට කිනම් ආකාරයක බලපෑමක් සිදුවන වා ද, ස්වභාවිකව ලබා ගත් ප්‍රතිශක්තියට කිනම් ආකාරයක බලපෑමක් සිදුවනවා ද යන්න පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඉදිරියේදී මෙය නව ප්‍රභේදයක් බවට වර්ධනය වීමේ හැකියාවක් සහ අවදානමක් ඇති බවත් ඒ පිළිබඳව දැනට තහවුරු කළ නොහැකි බවත් ය.

“SARS-CoV-2 වෛරස් එක සාමාන්‍යයෙන් විභේදනය වෙනකොට, බෙදී බෙදී යනකොට තමයි මේ විකෘතිතා ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් පොදු මතය තමයි මාසයකට විකෘතිතා දෙකක් විතර ඇති වෙනවා. ඉතින් විකෘතිතා ඇති වෙන්න නම්, රෝගය ව්‍යාප්ත වෙන්න ඕනේ. ඔබ දන්නවා පහුගිය කාලය තුළ විශේෂයෙන් ම කොළඹ නගර ආශ්‍රිතව විශාල ලෙස රෝගය ව්‍යාප්ත වුණා. ඉතින් ඒ පැතිරෙනකොට තමයි මේ ජාන විකෘතිතා ඇති වෙන්නේ.

තාමත් එන්නත්කරණය සම්පූර්ණ කරපු සියලු දෙනාට ඉතාමත් ම හොඳින් මේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව ඇතිවන සංකූලතා වළක්වාගන්න පුළුවන්. ඒක ඉතා ම පැහැදිලියි. එය කුමන එන්නත ද කියන එක වැදගත් නෑ. ඕනෑ ම එන්නතක් මාත්‍රා දෙක ම ලබා ගෙන සති දෙකක් ගිය තැන මිය යාමෙන් වැළැක්වීමට අවශ්‍ය කරන ඉතා හොඳ රැකවරණයක් ලබා දෙනවා.”