NEWS

කොරෝනා මරණ වාර්තා ව්‍යාකූලයි – බුද්ධි අංශ විමසුමකදී හෙළි වෙයි.

පසුගිය දිනවල කොරෝනා මරණ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇත්තේ ඉතාම ව්‍යාකූල ලෙස බව බුද්ධි අංශ කළ විමසුමකදී හෙළි වී තිබේ. දෛනිකව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ ආකාරය අනුව රට තුළ මහත් භීතියක්ද පැතිරී ඇති බව පෙනේ.

මෙම ව්‍යාකූලතාව මතුව ඇත්තේ රටේ සාමාන්‍යයෙන් දෛනිකව දියවැඩියාව, පිළිකා, අධි රුධිර පීඩන, හෘද රෝග, හදිසි අනතුරු, වියපත් බව ආදී හේතු නිසා සිදුවන මරණ සමග සංසන්දනාත්මකව සලකා විමර්ශනශීලී නොවීම නිසාය.

කොරෝනා රෝගය බරපතළ අන්දමට පැතිර යන සහ ආරම්භයේදීම ව්‍යාප්ත වූ බස්නාහිර පළාත පදනම් කරගෙන කළ විමර්ශනයක් මේ හෙළිදරව්වට පාදක වී තිබේ.

කොරෝනා වසංගතයෙන් ජීවිත හානි සිදු නොවූ 2019 ජනවාරි සිට ජුනි දක්වා හත් මසක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ මරණ එක්දහස් දෙසිය දහඅටක් වාර්තා වී තිබේ. එය දිනකට සාමාන්‍ය ගණන මරණ 41 කි.

කොරෝනා දෙවැනි රැල්ල සහ තුන්වැනි රැල්ල දැඩි සේ බලපෑ මේ වසරේ ගෙවුණ මාස හතක කාලය තුළ එම දිස්ත්‍රික්කයේ සිදුව ඇත්තේ මරණ එක්දහස් එකසිය හැට හතරකි. එය දිනකට මරණ 39 කි. එය 2019 මුල් මාස හතට වඩා අඩුවීමකි.

කොළඹ දිස්ත්‍රික්කයේ 2019 මුල් මාස හතේ මරණ 2038 ක් වාර්තා වූ අතර එය දිනකට හැට අටකි. මේ වසරේ මුල් මාස හත තුළ කොළඹ දිස්ත්‍රික්කයේ මරණ දෙදහස් දෙසීය දාහතක් වාර්තා වූ අතර දිනකට සිදු වූ සාමාන්‍ය ගණන හැත්තෑ හතරකි. එය දිනකට මරණ 16 ක වැඩිවීමකි.

කළුතර දිස්ත්‍රික්කයේ 2019 වසරේ මුල් මාස හතට මරණ හත්සිය නවයක් වාර්තා වී ඇති අතර මේ වසරේ එම කාලය තුළ මරණ සිදුව ඇත්තේ 703 කි.

කොරෝනා තර්ජනය නොතිබුණ 2019 මුල් මාස හතත් එම තර්ජනය ඉතා දැඩිව තිබූ මේ වසරේ මුල් මාස හතත්, සැසඳීම අනුව පෙනී ගොස් ඇත්තේ කොරෝනා නිසා අතිශය බහුතරයක් මිය යනවාය යන නිගමනයට ඒම සාවද්‍ය බවය. දියවැඩියා, හෘද රෝග ආදී බෝ නොවන රෝග සහ වයස්ගත වීම අනුව දිනකට සිදුවන මරණ ගණනට වැඩියෙන් මරණ සුළු ගණනක් එකතු වී තිබීමෙන් පෙණෙන්නේ කොරෝනා ආසාදනය නිසාම විශාල මරණ ප්‍රමාණයක් සිදුවන බව කීම කරුණු නොදැන කරන ප්‍රකාශයක් බවය. මේ වසංගත සමයේ දිස්ත්‍රික්කයක සාමාන්‍යයෙන් සිදුවන මරණ ගණනටම ආසන්න මරණ ගණනක් වාර්තා වන විට ඉන් බහුතරය කොරෝනා මරණ ලෙස සැලකෙන්නේ නම් දියවැඩියාව, හෘද රෝග, පිළිකා, රුධිර පීඩනය, වයස්ගත වී මියයාම දැන් විශාල වශයෙන් පහළ ගොස් ඇති බවකි. බොහෝ විට බෝ නොවන රෝගවලින් ස්වාභාවික මරණයට පත් වන්නන්ද කොරෝනා පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඔවුන් ආසාදිත නම් එයද කොරෝනා මරණ ගොඩටම දැමෙන නිසා මෙසේ සිදුව ඇතැයි සැක කෙරේ.

පසුගිය ජූලි 30 සිට අගෝස්තු 4 දින දක්වා දින හයක කාලයේදී මියගිය 403න් තුන්සිය හැටපහක්ම (365) මියගොස් ඇත්තේ බෝනොවන රෝග සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව සායනවලින් ප්‍රතිකාර ලබාගත් පිළිකා, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම හා වකුගඩු රෝගීන්ය.

ඉන් මරණ 401ක්ම වයස අවුරුදු 30 වැඩි පුද්ගලයන් වන අතර එය ප්‍රමාණයක් ලෙස සියයට අනුනවයකි (99.5%). එසේ මියගිය අය අතරින් නිරෝධායනය හෝ ආසාදිත ආශ්‍රිතයෝද වීම නිසා මියගොස් ඇත්තේ 27 දෙනෙකි.

දීර්ඝ කාලීනව බෝනොවන රෝගවලට ප්‍රතිකාර ලබාගෙන මියගිය 365 දෙනාගෙන් 252ක් එකඳු මාත්‍රාවක්වත් ලබාගෙන නොමැති අතර එක් මාත්‍රාවක්වත් පමණක් ලබාගෙන මියගොස් ඇත්තේ 113 දෙනෙකි.