NEWS

කොවිඩ් සඳහා දේශීය ඖෂධ 14කට වැඩි ප්‍රමාණයක් තියෙනවා

ඕනෑම කොවිඩ් ආසාදිත පුද්ගලයකුට හෝ නිරෝධායනය වන පුද්ගලයකුට ප්‍රදේශයේ ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරිවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසයි.

ඊයේ (11දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය. මෙහිදී දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මෙසේද අදහස් දැක්වීය.

‘‘ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත ඖෂධ රාශියක් තියෙනවා. ඒ වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව අනුමත කරපු පාරම්පරික වෛද්‍යවරු ඉදිරිපත් කරපු ඖෂධ වර්ග 14කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ඖෂධ වර්ග සමග සුව චර්යා සෞඛ්‍ය වැඩසටහනට පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාස මට්ටමින් ආරම්භ කරලා තියෙනවා. සුවධරණී සුව තොරතුරු සේවාව ආරම්භ කරලා තියෙනවා. ඔවුන්ට දේශීය ඖෂධ ලබාගැනීම සඳහා ප්‍රජා වෛද්‍ය සේවය ශක්තිමත් කරල තියෙනවා.

මේ සඳහා මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කරලා තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම දුරකථන අංක සහිතව ප්‍රජා වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කිරීම සඳහා තොරතුරු මේ වනවිට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ කටයුත්ත පළාත් සභා ප්‍රධානීන්ට කියලා එහි ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ද මේ කටයුත්තට සම්බන්ධ කළා.

ඕනෑම කොවිඩ් ආසාදිතයකුට එම ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ගන්න පුළුවන්. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය ආරම්භ කළ සුව චර්යා වැඩසටහන මගින් උපදෙස් මාලාවක් සකස් කර තියෙනවා. අපේ වෛද්‍ය සේවයට ඊ චැනලින් වගේ තාක්ෂණික ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රමයට උපයෝගි කරගත යුතුයි. ඒ සඳහා සුව ධරණි සඟරාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර තියෙනවා’’ යැයිද පැවසීය.