NEWS

මැතිවරණයකට මෙන් ජනතාව පෝලිම් ගස්සමින් එන්නත් ලබාදීම කණගාටුවට කරුණක්

මැතිවරණයකට මෙන් ජනතාව පෝලිම් කරමින් එන්නත් ලබා දෙන තත්ත්වයකට පත්වීම පිළිබඳව කනගාටු වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන ඊයේ (10 වැනිදා) පැවැසුවේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද කීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් මාරු කර යැව්වා, කොවිඩ් පාලනයට ගමේ කමිටුවක් හැදුවේ නැහැ , විෂබීජහරණය නැහැ , ජාතික ප්‍රතිපත්තියක් සකසා නැහැ. සියලු මාධ්‍ය සංදර්ශන අවසන්. මුළු රටම භයානක තත්ත්වයකට පත් වෙලා. එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම මේ කරුණු ඉදිරිපත් කළත්, ඒවාට ඇහුම්කන් නොදී ක්‍රියා කළ නිසා අද මහජන ජීවිත විශාල වශයෙන් බිලි ගන්නා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය වෙනත් අමාත්‍යංශ වගේ හසුරුවන්න බැහැ. පළපුරුදු දක්ෂ නිලධාරීන්, කාලයක් තිස්සේ වැඩ කරන අය ඉන්නේ. ඒ ඒ ආයතන පිළිබඳ, ඒ ඒ ප්‍රදේශ පිළිබඳ අත්දැකීම ඉතා වැදගත්.

අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨතම සහ පළපුරුදු නිලධාරියෙකු වූ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා රෝග නිවාරණ අංශයේ හොඳ පළපුරුද්දක් තිබුණු අයෙක්. ඔහුව ගවයින් බලාගන්න අමාත්‍යංශයකට යොමු කළා. විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් මේ ආකාරයට මාරු කළා. අනිල් ජාසිංහ මහත්මයා, ජයවරුවන් බණ්ඩාර මහත්මයා, විශේෂයෙන් මුලදිම හොඳ පළපුරුද්දක් සහ දැනුමකින් වැඩ කළ අය. පබා පළිහවඩන මහත්මිය ලංකාවේ හිටපු හොඳ වසංගත රෝග විශේෂඥවරියක්. ඇයට හිරිහැර කළා. එතුමියව ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන්වා ගත්තා.

වෛද්‍ය සුදත් සමරවීර විශේෂඥයා ඉතා හොඳ වැඩ කොටසක් කරමින් හිටියා. ඔහුට වසංගත රෝග පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. එතුමා එතනින් වෙන තැනකට දැමුවා. ඖෂධ නියාමන අධිකාරිය අවශ්‍ය පරිදි අනුමැතියන් ලබා ගැනීමට නොහැකි නිසා මහාචාර්ය අසිත ද සිල්වා ඉල්ලා අස්වුණා. වෛද්‍ය පාලිත අබේකෝන් මහත්මයා අයින් කළා. කොවිඩි මර්දන ඒකකය දැන් පුළුවන් කොහේ හරි තුන්මං හන්දියක වුණත් පවත්වන්න. ඒ තරම් පළපුරුදු දක්ෂ විශාල පිරිසක් එළියට දැම්මා.

ලංකාව අසියාවෙත්, ලෝකයෙත් වසංගත රෝග පාලනයට ඉතාම දක්ෂ රටක් හැටියටයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ලංකාවේ රෝහල් එක්දහස් හැටක් තිබෙනවා. ඇඳන් හැත්තෑ අට දහසක් තිබෙනවා. පෞද්ගලික රෝහල් දෙසීයක් පමණ තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුන්සිය හැටක් තිබෙනවා. වෛද්‍යවරුන් විසි දෙදහසක් පමණ සිටිනවා. හෙද හෙදියන් හතළිස් පන්දහසක් පමණ ඉන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහස් පන්සීයක් පමණ ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් දස දහස් අටසීයක් පමණ ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මනා පළපුරුදු අත්දැකීම් අඩු වැඩි වශයෙන් අය සෞඛ්‍ය සේවකයන් එක්ලක්ෂ පනස් දාහක් ඉන්නවා. මෙයින් ලක්ෂයකට පමණ පුහුණුව තියෙනවා එන්නතක් ලබා දෙන අකාරය පිළිබඳ. එක එක්කෙනාට හිතෙන පරිදි එන්නත්කරණය සිදු කරන්න බැහැ. ඒකට ලෝකයේ තිබෙනවා පිළිගත් සම්ප්‍රදායක්.