NEWS

දැරිය දිවි හානි කරගත් බවට සටහන් තැබූ ” රන්දික” නම් වෛද්‍යවරයා විදෙස් ගත වෙලා

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරිය, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදි “තමන් විසින්ම ගිනිතබා ගත් බවට දැරිය ප්‍රකාශකළැයි” සටහනක් යොදාතිබු වෛද්‍යවරයා මේ වනවිට විදේශගතව ඇති බව අද (09) අධිකරණයේදී අනාවරණය විය.

ඒ, මෙම සිදුවිමට අදාළ පැමිණිල්ල අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ 16  හැවිරිදි ඉශාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජුලි මස 15 වැනිදා මිය ගියාය.

ඇයට දීර්ඝ කාලයක සිට ලිංගික ප්‍රවේශයක් සිදුව ඇති බවත් පිළිස්සුම් තුවාල මත විෂබීජ ආසාදනයක් හේතුවෙන් ඇති වු කම්පනයකින් මරණය සිදුව ඇති බවත්  පසුව මරණ පරික්ෂණ වාර්තාවෙන් ප්‍රකාශ කෙරුණි.

අධිකරණයේ නියෝග අනුව ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂ කමිටුවක් විසින් පසුගිය 30 වනදා දේහය යළි ගොඩගෙන පේරාදෙණිය රෝහලේ දී දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළේය.

එවන් පසුබිමක දැරියගේ මරණයට අදාළව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ බිරිඳ , මාමණ්ඩිය, මස්සිනා සහ දැරියව මෙම නිවසට රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

එම පැමිණිල්ල අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි විමර්ශන සිදුකරන පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා කියා සිටියේ එම දැරියගේ විමර්ශනවලට අදාළව අනාවරණය වන කරුණු අධිකරණයට වාර්තා කිරීමට මත්තෙන් ඒවා ජනමාධ්‍යවල පළවීම තුළින් මියගිය දැරියට දැඩි අගතියක් සිදුවන බවය.

මෙහිදි අතිරේක මහෙස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළේ, එම විමර්ශනයට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත් වන්නේ කෙසේදැයි සොයාබලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

අනතුරුව වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම දැරියගේ මරණය සිය දිවිනසා ගැනීමක් ද? අනතුරක් ද? නැතිනම් මිනීමැරීමක් ද? යන්න පිළිබඳව තවදුරටත් සැකයක් පවතින බව පෙන්වා දුනි.

තුවාල ලැබූ එම දැරිය රෝහල්ගත කිරීමෙන් පසුව බොරැල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ශ්‍රියාරත්න නමැති නිලධාරියා ඇය අසල ගොස්  සිදුවූයේ කුමක් දැයි දැරියගෙන් ප්‍රශ්න කළ බවත් එම අවස්ථාවේදී  දැරිය දැඩි අපහසුවෙන් සිටි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

ඊට අදාළ වීඩියෝ පටයක් ද එම නිලධාරියා විසින් ලබාගෙන ඇති අතර එම වීඩියෝ පටය පිරික්සීමේ දී අදාළ නිලධාරියා විසින් කුමක් සිදුවූයේ දැයි විමසූ විට දැරිය දැඩි අපහසුවෙන් “ගහන්න එපා”  ” ෆෝන් එක අයින් කරන්න” යනාදී පිළිතුරු ලබාදී තිබූ බව අනාවරණය වන්නේ යැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.

එම දැරිය රෝහලේදී මියගිය පසු ඇයගේ සොහොයුරා සහ දෙමව්පියන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ එහි සිටි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි පුද්ගලයෙකු මෙම සිද්ධිය පොලිසියට රැගෙනයාම අනවශ්‍ය බවත් මෙය මෙතනින්ම අවසන්කර ගන්නා ලෙසත් ඔවුන්ට බලපෑම්කර තිබූ බව ඉකුත් නඩු දිනයේ පොලීසිය විසින් අධිකරණයට වාර්තාකර තිබුණි.

එම පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදුකළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා එම පුද්ගලයා පොලිස් මූලස්ථානයට  අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෆාර් නමැත්තෙකු බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවේය.

එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ ඔහුගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයකර ඇති බවද ඔහු පෙන්වා දුනි.

පිළිස්සීමට භාජනය වූ දැරිය තම කුටියේ සිට මුළුතැන් ගෙයි දොර විවෘත කර ගනිමින් කොරිඩෝව ඔස්සේ සාලයට දක්වා සැලකිය යුතු දුරක් දිවවිත් තිබුණද ඒ අසල තිබූ භාණ්ඩවලට ගින්නෙන් කිසිදු හානියක් සිදුනොවීම විමතිය දනවන කරුණක් යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසුවේය.

අපරාධ ස්ථානය පරීක්ෂා කිරීමේ දී ගිනි ගැනීමට ලක් බව තහවුරු කෙරෙන කිසිදු බාහිර සාක්ෂියක් අනාවරණය වී නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඒ අනුව අපරාධ ස්ථානයේ තිබූ සාක්ෂි සැකකරුවන් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබුණේ ද යන බරපතළ සැකය මතුවන බව සඳහන් කළේය.

එම දැරිය රෝහල්ගත කළ අවස්ථාවේ ඇය තමන් විසින්ම ගිනිතබා ගත් බවට සටහනක් යොදා තිබෙන්නේ “රන්දික” නමැති වෛද්‍යවරයෙකු බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවේය.

එම වෛද්‍යවරයා මේ වන විට විදේශගත වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කෙසේවෙතත් Zoom තාක්ෂණය ඔස්සේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් අවධානය යොමුකර ඇතැයි ද සඳහන් කළේය.

එම දැරිය රෝහල්ගත කරන අවස්ථාවේ ඇය නියම සිහි බුද්ධියෙන් සිටින බවට කිසිදු වෛද්‍යවරයෙකු විසින් සටහන් යොදා නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය පැවසුවේය.

අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් මෙම අපරාධය සම්බන්ධයෙන් ඉකුත් සෙනසුරාදා පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගත් බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී මෙම දැරිය පිළිබඳව තමා හරියාකාරව නොදන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට එල්ලවී තිබෙන චෝදනා වලට ඇප ලබාදීමට අධිකරණයට බලයක් තිබෙන හෙයින් ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ එම සැකකරුවන් ලබන 23 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.