NEWS

​කොවිඩ් මළ සිරුරු ගොඩගැසෙයි

රෝහල් තුළ මියයන කොවිඩ් ආසාදිතයන්ගේ මෘතදේහ රෝහල් මෘතශරිරාගාර තුළ ගොඩ ගැසෙමින් තිබේ. කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ දෛනිකව කොවිඩි මෘතදේහ විස්සක පමණ සංඛ්‍යාවක් ගබඩා කිරීමට සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මහනුවර රෝහලේ මෘත ශරීරාගාරය තුළ කොවිඩ් මළ සිරුරු දෛනිකව දහයක් පමණ ගබඩා කෙරේ. එසේම ගම්පහ රෝහලේ කොවිඩ් මෘතදේහ විස්සක් පමණ ගොඩගැසී ඇත.

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුගත් පෙරේරා ජා-ඇල නගර සභා මාසික මහ සභාවේදී පැවැසීය. පසුගිය 06 වැනිදා වන විට කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 88 ක් රාගම රෝහලේ තිබූ බවද ඔහු පවසයි. රාගම කොවිඩ් මරණ ආදාහනය කරන බටුවත්ත ආදහානාගාරය කැඩී තිබීමත්, වැලිසර කොවිඩ් මරණ ආදාහනය කරන ආදාහනාගාරයේ ලබන 10 වැනිදා තෙක් දින ලබා ගැනීමට නොහැකි වීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළද කොවිඩ් ආසාදිත මෘතදේහ ගොඩ ගැසී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන නිසා කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය උදය රත්නායක සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ හඳුනා නොගත් මළ සිරුරු කිහිපයක් තිබෙන බැවින් එම මළ සිරුරු ප්‍රමිතියකට ශීතාගාරවල තැන්පත් කිරීම ගැටලුවක්ව ඇති බවය. කෙසේ වුවද කළුතර නාගොඩ රෝහලේ මෘතශරීරාගාරයේ එක්රැස් වූ කොවිඩ් මෘතදේහයන් පසුගිය 06 වැනිදා රාත්‍රියේ ආදාහනාගාර 08කදී ආදාහනය කිරීමට පියවර ගෙන ඇත. මෙම මෘතදේහ ගොඩගැසීම සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියේ ආදාහනාගාරවල තිබූ තදබදය නිසාවෙන් මෘත ශරීර රෝහල්වල ගොඩ ගැසුණු බවය. ඒම මෘත දේහ කඩිනමින් අදාහනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.