NEWS

කොවිඩ් අවදානමත් නොතකා මැති ඇමතිවරු මත් පැන් සාදයක

මේ දිනවල ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දේශපාලන කරුණුවලට වඩා වැඩිම අවධානය යොමු වූයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳවය. දසතින් නැගුණු විරෝධතා හමුවේ වුවද පනත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් විය. ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පන්තියක් පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ තීන්දු කළේය. අරලියගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම සඳුදා පස්වරු හතට ආරම්භ වන බව මන්ත්‍රිවරුන්ට කල්තියාම දැනුම් දී තිබිණි. එහෙත් අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වීමට වැඩි කාලයක් ගතවූ බැවින් මෙම රැස්වීම ආරම්භ වූයේ පැයක පමණ කාලයක් ප්‍රමාදවය.

ගෙවිඳුගේ විරෝධය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මහ බැංකු අධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයාද පැමිණ මන්ත්‍රිවරුන් පනත පිළිබඳව දැනුවත් කළහ. ඉන් පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග පැවසුවේ තමන්ගේ ප්‍රතිපත්තිවලට මෙම පනත විරුද්ධ බවයි. ‘‘මම ඡන්දය දෙන්නේ නැහැ’’ මන්ත්‍රිවරයා කීවේය. ඉන්පසු සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා පනත පිළිබඳව දීර්ඝ විස්තරයක් සභාවට ඉදිරිපත් කළේය. පාර්ලි​මේන්තු මන්ත්‍රි වීරසුමන වීරසිංහ පැවැසුවේ ‘‘ මෙහි පාසල් යනුවෙන් කොටසක් තියෙනවා. මේ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බැහැරව හමුදා පාසල් ක්‍රියාත්මක කළ හැකි බවයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද අදහස් පළ කළේය. ‘‘මට නම් වරදක් පේන්නේ නැහැ. මෙම වැ​​​ඩේ විය යුතු වැඩක්.’’ යනුවෙන් ප්‍රකාශ කළේ කොතලාවල පනත හොඳින් අධ්‍යයනය කළ අයකු මෙනි. ‘‘කොතලාවල විශ්වවිද්‍යාලය දැනට ක්‍රියාත්මකයි. ඇයි මේ අලුත් පනතක්. ආණ්ඩුව අපහසුතාවට ගෙනාපු පනතක් දැයි මට සැකයක් තිබෙනවා’’ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් දොළවත්ත කීවේය. මේ සියල්ල අසා සිටි අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ අපි කමිටුවක් පත් කර මෙම ගැටලුව විසඳා ගත යුතු බවයි.

ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂයද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබුණි. සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙන්ම කළමනාකරණ කමිටු රැස්වීමේදීද මේ පිළිබඳ සාකච්ඡා කරන ලදී. ‘‘කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ඒ ආකාරයෙන්ම තියන්න හරින්න. ඒක ආරක්ෂක නිලධාරීන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන්න. අලුත් පනත් කෙටුම්පත ගෙනවිත් අධ්‍යාපනය මිලිටරිකරණය නොකළ යුතයි’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැස්වීම් ආරම්භයේදීම පැවසුවේය.

කොතලාවල විශ්වවිද්‍යාල පනත යහපාලන ආණ්ඩුව කාලයේ ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට විරුද්ධ වූ ආකාරය මන්ත්‍රිවරු පෙන්වා දුන්හ.

රනිල්ට අයිතියක් නැතිලු

‘‘මෙම පනතට විරුද්ධව කතා කරන්න රනිල්ට අයිතියක් නැහැ’’ ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයා කීවේය. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතත් පනත් කෙටුම්පතට විරුද්ධව අදහස් පළ කිරීම විශේෂ ලක්ෂණයක් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීද විරෝධතාවට එක් වූ සමගියේ මන්ත්‍රිවරු තවත් දිනෙක ලිප්ටන් වට රවුමේදීද විරෝධතාවක් පැවැත් වූහ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්වීමක් පැවැත් වුණි. ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමගය. ඔවුන්ගේ කරුණු දැක්වීම අවසානයේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කළේය. ‘‘පනත හදිසියේ ගෙනල්ලා සම්මත කිරීමට තමයි ආණ්ඩුවට අවශ්‍ය වුණේ. විපක්ෂය කළ යෝජනාවට ආණ්ඩුව එකඟ වෙනවා’‘ එක්සත් ජාතික පක්ෂ නායකයා කීවේය.

ආණ්ඩුව පනත හකුළා ගනී

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව අඟහරුවාදා රැස්වූයේය. එදින ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කොතලාවල පනත පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම වැඩමුළුව හදිසියේම කල් දැමුණේ දෙපාර්ශ්වය අතර මත ගැටුමක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබුණු බැවිනි. ‘‘සියලු මන්ත්‍රිවරු සිය යෝජනා ​චෝදනා ලිඛිතව ඉදිරිපත් කරන්න’’ අමාත්‍ය චමල් රාජපක්ෂ දැනුම් දුන්නේය. කෙසේ වෙතත් අවසානයේ කොතලාවල පනත් කෙටුම්පත අකුළා ගැනීමට රජයට සිදුවිය.

ප්‍රසන්න රණවීරගෙන් චෝදනාවක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය ආමත්‍ය ප්‍රසන්න රණවීර චෝදනාවක් එල්ල කළේය. ‘‘පෞද්ගලික අංශයේ අවම වැටුප 12500යි තිබුණේ. අපි එය 15000 දක්වා වැඩි කර තිබෙනවා. ඇතැම් පෞද්ගලික ආයතන මෙම මුදලද ගෙවන්නේ නැහැ’ ඔහුගේ චෝදනාව වූයේය. ඒ පිළිබඳ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අවධානය යොමු වූයේය. මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මූල්‍ය ප්‍රශ්න පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කරුණු ඉදිරිපත් කළේය. ‘‘මහ බැංකුව දැනුම් දී තිබෙනවා මුදල් නීති පනත යටතේ විදේශ සංචිතවල මුදල් නිකුත් කරන්න බැහැ කියලා. භාණ්ඩාගාර බිල්පත්වලින් 10%ක් මීට පෙර ගත්තා. නමුත් දැන් එය 90% දක්වා වර්ධනය වී තිබෙනවා’’ මුදල් අමාත්‍යවරයා කීවේය. විදේශ සංචිතවලින් මුදල් නිකුත් කිරීමට වුණොත් යළිත් මුදල් අච්චු ගහන්න වෙනවා’’ අමාත්‍යවරුන් දැනුවත් කරමින් ‘‘මුදල් නැති මුදල් අමාත්‍යවරයා මම’’ යැයි කියූ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ජනපති මැති සබයට

පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද පැවැත්වෙන අවස්ථාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණියේය. මේ බව දැනගත් සභානායක දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රධාන දොරටුව අසලට පැමිණ ජනාධිපතිවරයා පිළිගත්හ. පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ මද වේලාවක් රැඳී සිටි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය. එවිට සභාව අමතමින් සිටියේ අනුර කුමාර දිසානායක මන්ත්‍ර්‍රිවරයාය. මේ අතර රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රිවරයා රිමාන්ඩ් භාරයේ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු විය. තමන්ට වී ඇති අසාධාරණය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බදියුර්දීන් මන්ත්‍රිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය. ‘‘මම අත්අඩංගුවට ගත්තේ බාලසුබ්‍රමනියම් නම් පුද්ගලයකු සමග දුරකථනයෙන් කතා කළ නිසයි’’ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දුන් අමාත්‍ය ​​ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ බාලසුබ්‍රමනියම් යනු රටෙන් පැන ගිය අපරාධකරුවකු බවයි. මෙම සංවාදය දෙස මඳක් වෙලා බලා සිටි ජනාධිපතිවරයා ඉන් පිටව ගියේය.

බැසිල් මෛත්‍රි නවතයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලි​මේන්තු ලොබියේ වාඩි වී පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් සමග සුහද කතාබහක නිරත වෙමින් සියේය. එම ස්ථානයෙන් යාමට ගිය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මඳක් නැවතුණි. ‘‘එන්න ජනාධිපතිතුමා’’ මුදල් අමාත්‍යවරයා ඔහු සුහදව පිළිගත්තේය. ‘‘ඔබතුමාගේ ගම පැත්තේ සතුන්ගෙන් වෙන හානි ගැන සාකච්ඡාවක් තිබුණා. පුදුම විදිහට තමයි මොනරු ඉන්නේ නේද?’’ අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේය. ‘‘මොනරා කතරගම දෙවියන්ගේ වාහනයනේ. ඒ නිසා මිනිසුන්ට කරදරයක් නැහැ. නමුත් රිළව්ගේ ප්‍රශ්නය ජනතාවට ලොකු ප්‍රශ්නයක්’’ හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය. ඉන් පසු මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදීත් රිළා ප්‍රශ්නය කතා කළ බවයි. ‘‘ඔව් ඔව් ජනාධිපති කාලෙත් මම කිව්වා රිළව් පරිස්සම් කරන්න මට බැහැ කියලා’’ හිටපු ජනාධිපතිවරයා කීවේ දේශපාලන අතීතයද සිහිපත් කරමිනි.

කැටගොඩට කළගුණ සැලකීමේ සාදයක්

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා සිය මන්ත්‍රි ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේගේ තලවතුගොඩ පිහිටි නිවසේ මෙම සාදය පැවැත්වූයේ කොවිඩ් වසංගතයද නොතකමිනි.

චාමරගේ බදුලු නැටුම

පසුපෙළ මන්ත්‍රිවරුන්ට අමතරව මෙම සාදය සඳහා සහභාගි වූයේ නිමල් ලන්සා හා ලොහාන් රත්වත්තේ යන රාජ්‍ය අමාත්‍යවරුන් පමණි. මෙම සාදය මත් පැනින් හා සංගීතයෙන්ද පිරී ඉතිරී ගියහ. සාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක අපූරු නැටුමක් ඉදිරිපත් කළේය. පැමිණ සිටි සියලු දෙනාගේ අත්පොළසන් මැද ඉදිරිපත් කළ එම නැටුම ‘‘බදුලු නැටුම’’ වූයේය. පසු දින පාර්ලිමේන්තු රැස්වීම්වලදීද චාමරගේ බදුලු නැටුම කතා බහට ලක් විය.

මන්ත්‍රිලා තුනකට කොරෝනා

මේ අතර පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් ඇති වීමේ අවදානමක්ද මතුව ඇත. පසුගිය සිකුරාදා දින පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකුට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකටද කොවිඩ් වැලඳී රෝහල් ගත කෙරුණි. දිලිප් වෙදආරච්චි, තිස්සකුට්ටිආරච්චි හා රෝහණ දිසානායකද කොවිඩ් වැලඳුණු මන්ත්‍රිවරු වෙති. හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක පසුගියදා සිය ඥාතියකුගේ මළ ගෙදරකටද මීගමුවට පැමිණියේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටය. මේ වන විට ඔහු කොවිඩ් ප්‍රතිකාර සඳහා එම බන්ධනාගාරයේ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටද කොවිඩ් ආසාදනය වූයේය. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ශෂීන්ද්‍ර රාජපක්ෂ නිරෝධායනය වීමට වූයේ ආශ්‍රිතයන් සමග සිටීම නිසාය.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වූ බව දැනගත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන දුරකථන ඇමතුමක් ගත්තේය. ‘‘කොහොමද මම කියන එක ඇහුවේ නැහැනේ. රට පුරාම ඇවිදලා කොවිඩ් හදාගත්තනේ .මම නොමිලේ මාස්ක් දෙකක්ම දුන්නා. දැම්මේ නැහැනේ. ඒකයි මේ දෙය වුණේ’’ ඇමැති බන්දුල කීවේය. මෙය අසාගෙන සිටි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ‘‘ඔයා එක්කත් මම රැස්වීම්වලට සහභාගි වුණා’’ යනුවෙනි. ‘‘ඒක ඇත්ත. මම මුව ආවරණ පැලඳ ගෙන හිටියනෙ’’ ඇමැති බන්දුල ගුණවර්ධන සිනාසෙමින් ප්‍රකාශ කළේය.

අවම වේතන සංශෝධන පනත පිළිබඳ විවාදය පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී පැවැත් විණි. විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න චෝදනා රැසක් ඉදිරිපත් කළාය. ඉන් පසු කතාව තිබුණේ සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයාටය. රෝහිණි මන්ත්‍රිතුමිය හොඳයි ලස්සනට ඔසරිය ඇඳලා බොරු කීමේ තරගයට යවන්න. මම අපේ ගමේ උත්සවයක් තිබුණොත් ඔයා කැඳවනවා.’‘ මන්ත්‍රිවරයා කීවේය. ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තු ලොබියේ දී හමු වූයේ ඊට ටික වේලාවකට පසුවය. ‘‘මල්ලි ඔයාගේ කතාව ලස්සනයි. නරක වචන කියලා රණ්ඩු වෙන්නෙ නැතිව ඔහොම තමයි කතා කරන්න ඕනි. මේවා වෙනස් නොවී දේශපාලනය කරලා වැඩක් නැහැ.’’ රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය කියා සිටියේ මවක් මෙන් සංවේදී වෙමිනි.

රනිල් – මහින්ද හමුවක්

පාර්ලිමේන්තුවේ දී අගමැති මහින්ද රාජපක්ෂ හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද වෙනම හමු වූහ. මාතෘකාව වූයේ කොවිඩ් වසංගතයයි. ‘‘තියෙන තත්ත්වය හරි නැහැ. තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකළ යුතුයි. තීන්දු තීරණ ගත යුත්තේ කැබිනට් මණ්ඩලයයි.’’ රනිල් කියා සිටියත් අගමැතිවරයා ‘‘අපි බලමු’’ යනුවෙන් ප්‍රකාශ කළේය. නමුත් පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ පසු රනිල් වික්‍රමසිංහ කොවිඩ් පාලනයේ අසාර්ථක තැන් ආණ්ඩුවට පෙන්වා දීමට අමතක කළේ නැත.

ජනපති හමුදා මූලස්ථානයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බත්තරමුල්ල අකුරේගොඩ ඉදිකළ නව ආරක්ෂක හමුදා මූලස්ථානයද මෙම සතියේ නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි කාලයේ දී මෙහි ඉදිකිරීම් ආරම්භ විය. එම නිසා අතීත මතකයන් අවුස්සමින් හමුදා මූලස්ථානයේ සිරි නැරැඹීමට ඔහු අමතක කළේ නැත. ‘‘අපේ රටේ හමුදා ඉතිහාසය ගැන කියන දුර්ලභ ඡායාරූප එකතුවක් තිබෙනවා’’ යනුවෙන් ප්‍රකාශ කළ හමුදාපතිවරයා ඡායාරූප නැරැඹීමටද ජනාධිපතිවරයා කැඳවා ගෙන ගියේය. මෙහි දී හමුදාපතිවරයා සමරු සිහිවටනයක් ලෙස පොතක් පිරි නැමුවේය. එය ‘‘e book’’ එකක් විය. ‘‘දැන් අපි කොහේද යන්නේ’’ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යුද හමුදාපතිවරයාගෙන් ඇසුවේ විහිළුවක්ද කරමිනි. කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ, ඒකාබද්ධ යුද මෙහෙයුම් මැදිරියද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට මෙහි දී ලක් වූයේය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ උපදෙස් මත යෞවන කටයුතු අමාත්‍යාංශයේ හා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරින් පිරිසක් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් හමු වූහ. තරුණ ව්‍යවසායකයින් විදේශ රැකියාවලට යොමු කිරීම මාතෘකාව විය. තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය ගැන කතා කළේය. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ‘‘කටාර් රාජ්‍යයෙන් රැකියා 50000ක් හොයා ගන්න පුළුවන්. 2022 ලෝක පාපන්දු සැණකෙළිය තියෙන්නේ කටාර් රාජ්‍යයේයි.’’ යනුවෙනි.

වෛද්‍ය මන්ත්‍රිලා

පාර්ලිමේන්තුවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න හා කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ලොබියේ දී සෞඛ්‍ය ප්‍රශ්නයක් ගැන කතා බහකට මුල පිරූහ. දෙදෙනාම වෛද්‍යවරු නිසා කොවිඩ් වසංගතය ගැන අවධානය යොමු විය. ‘‘තත්ත්වය දරුණුයි. ඉන්දියාව වගේ වෙයි. රෝහල්වල රෝගී ධාරිතාවය ඉක්මවලා මන්ත්‍රි රාජිත සේනාරත්න කීවේය. ‘‘මම මෙම තත්ත්වය ඉහළට දන්වා තිබෙනවා.’’ රාජ්‍ය අමාත්‍යවරිය කීවේ සිය ප්‍රජා සෞඛ්‍ය විෂය පිළිබඳවද සිහිපත් කරමිනි. ‘‘මට පවරා තිබෙන විෂයට අනුව ජනතාව දැනුවත් කරනවා.’’ රාජ්‍ය අමාත්‍යවරිය නැවත වරක් කීවාය. ‘‘ඔව් ඔව් මට තේරෙනවා දේශපාලනය නොවෙයි දොස්තරකම බේරා ගන්න’’ මන්ත්‍රි රාජිත සේනාරත්න උපදේශයක්ද දෙමින් කීවේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් සහභාගි වූ විවාහ මංගලෝත්සවයක් කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් හා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්ෂ සිටියේ එකම මේසයේය. ‘‘අපි පොදු වැඩපිළිවෙළක් හදනවා. දැන්ම එකතු වුණොත් මන්ත්‍රිකම නැති වෙයි.’’ වජිර පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම්ට කීවේය. ‘‘අපි පොදු හතුරා හඳුනා ගෙන තියෙන්නේ.’’ පරාජය කරන්න එකතු වෙමු.’’ මන්ත්‍රිවරයා කීවේය. මෙම මංගල උත්සවයේ දී හිටපු ජනාධිපතිවරයා හා වජිර අබේවර්ධන ද එකට හමු වී කතා කළේ අහම්බෙනි.

සජිත් රන්ජන්ගේ සුව දුක් බලන්න යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම සතියේ මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයාද සමග කිසිවකුට නොකියා ගාල්ල බලා පිටත්ව ගියහ. ඒ කරාපිටිය රෝහලටය. අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ගෙනවිත් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම ඔවුන්ගේ මෙම ගමනේ අරමුණ වූහ. රන්ජන්ගේ සුවදුක් විමසූ විපක්ෂ නායකවරයා හම්බන්තොට බලා පිටත්ව ගියේය. ඒ නිවාස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දුන් ගම්මාන පහක නිවෙස් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව. ඔහුගේ ගමනේ තවත් අරමුණක් තිබුණි. ඒ යාල ජාතික වනෝද්‍යානයේ දී සතුන් ඡායාරූප ගැනීමය. මෙවර නම් විපක්ෂ නායකවරයාට සතුන්ගේ ඡායාරූප ගැනීමට නොහැකි වූ බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය පිළිබඳ හා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැනද විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කළ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එහි ප්‍රගතිය ඉදිරිපත් කළේය.

උදයජීව